සයිටම් සිසුන් ලියාපදිංචි නොකළ දොස්තර සේනාරත්න අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු

ජූනි 25, 2019

    අභියාචනාධිකරණය ඉදිරියේ ගොනුකර තිබෙන නඩුවක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය එන්.එස්.ඒ. සේනාරත්න මහතා අද දින නඩු විභාගය සඳහා පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් වරෙන්තු නිකුත් කළේය.

    මාලබේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් උපාධිධාරී සිසු සිසුවියන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව සඳහන් කරමින් එම ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් දිල්මි සූරියාරච්චි නමැති උපාධිධාරී සිසුවියක විසින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    එම පැමිණිල්ල අද ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු වන වෛද්‍ය එන් .එස්.ඒ. සේනාරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

    ඒ අනුව ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි දන්වා අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් වරෙන්තු නිකුත් කළේය. එමෙන්ම අදාළ පැමිණිල්ල ජූලි මස 22 දා විභාගයට ගන්නා බවද විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

    පෙත්සම්කාර දිල්මි සූරියාරච්චි සිසුවිය කියා සිටින්නේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගත් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය මගින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් ලබා දුන් බවයි. එම නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තහවුරු කර ඇති බව පෙත්සම්කාර සිසුවිය ප්‍රකාශ කළේය.

    එහෙත් එම නියෝගය ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් එම සිසුවිය අභියාචනාධිකරණය වෙත මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 15:59

    Latest News