අලි රොෂාන්ගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

ජූනි 25, 2019

    නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නිතිපති විසින් ඉල්ලයි

    බලපත්‍ර නොමැතිව අලි ඇතුන් සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව නඩු විභාගයක් පැවැත්වීම සඳහා ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

    නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ මෙම ඉල්ලීම අද(25) නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා වෙත යොමු කළ බවයි.

    2009 වසරේ නොවැම්බර් මස 24 වනදා සහ 2015 වසරේ අගෝස්තු මස 31 දක්වා කාලසීමාව තුළ අලි ඇතුන් පස් දෙනකු නීති විරෝධී ලෙස සන්තකයේ තබා ගෙන ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා 36ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය කර තිබේ.

    මහජන නොසන්සුන්තාවයට සහ ජාතික වැදගත්කමක් සහිත මෙම නඩු කටයුත්ත ජූරි සභාවක් නොමැති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම කිරීම සුදුසු යැයි තීරණය කර ඇති නීතිපතිවරයා ඒ අනුව එම විභාගය පැවැත්වීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත යොමුකළ ලිපියේ සඳහන් කර ඇත.

     

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 16:51

    Latest News