පාර්ලිමේන්තුව විසුරුවීම වළකාලමින් අතුරු තහනම් නියෝගයක්

නොවැ 13, 2018

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

    මැතිවරණ පැවැත්වීම වළක්වාලමින් තවත් අතුරු තහනම් නියෝගයක් ද අධිකරණය විසින් මැතිවරණ කොමිසම වෙත නිකුත් කර තිබෙනවා.

    මෙම තහනම් නියෝග ලබන දෙසැම්බර් මස 7 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර පෙත්සම් විභාගය දෙසැම්බර් මස 4, 5 සහ 6 යන දිනවල පවත්වන බව ද අධිකරණය තීන්දු කර ඇත.

    පුරා දින දෙකක් තිස්සේ පැවති දීර්ඝ කරුණු සලකා බැලීම් වලින් පසුව අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.

    අද පෙරවරුවේ පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ නීතිපති ජයන්ත ජයසූරිය මහතා සිය දේශනය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයේ 33 වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ සඳහන් වන ප්‍රතිපාදන වලට පරිබාහිරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් එම වගන්තිය තුලින් ජනාධිපතිවරයාට හිමි වී තිබෙන බව ද නීතිපතිවරයා සඳහන් කළේය.

    පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය අධිකරණය මගින් අත්හිටුවීමක් සිදුකරනු ලැබූවොත් ඒ තුළින් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අත්හිටුවීමක් වීමක් සිදු වන බව ද නීතිපතිවරයා අධිකරණය හමුවේ පෙන්වා දුනි.

    මේ හේතුවෙන් අදාළ විසුරුවා හැරීම ව්‍යවස්ථාවට අනුකූලව සිදු වී ඇති බවයි නීතිපතිවරයා තම දේශනය තුළින් සඳහන් කර සිටියේය.

    ඉන් අනතුරුව අමාත්‍ය උදය ගම්මන්පිල, ආචාර්ය චන්න ජයසුමන, නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත, ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පාර්ශව හයක් විසින් මෙම පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීම සිදු කළේය.

    ඔවුන් සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණය හමුවේ දන්වා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන නිවේදනය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් කළ නොහැකි බවයි.

    මේ හේතුවෙන් පෙත්සම්කරුවන් සිය පෙත්සම් වලින් ඉල්ලා තිබෙන සහන ව්‍යවස්ථාවට පටහැනි ඒවා බැවින් ඒවා ප්‍රතික්ෂේප කරන මෙන් ද මැදිහත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය , නීතිඥ අරුණ ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

    එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබේ.

    පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ ආණ්ඩුකම ව්‍යවස්ථාවේ දහනව වන (19) සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි.

    මෙම විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.

    මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් විභාගය අවසන් තීන්දුවක් ලබාදෙන තෙක් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 19:01

    Latest News