දිවයින පුරා සුවසැරිය 1990 ගිලන් රථ 297ක්

ජූනි 23, 2019

    සුවසැරිය ගිලන් රථ සේවාව නැගෙනහිර පළාතේ අද (23) ආරම්භ විය.

    එහි ප්‍රධාන උත්සවය අම්පාර නගර සභා ශාලාවේදී අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. එම සේවාව මෙරට ආරම්භ වූයේ ඉන්දියානු රජයේ පරිත්‍යාගයක් ලෙසයි.
    නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක සඳහා ගිලන් රථ 27ක් පිරිනැමිණ. 2016 ජූලි මාසයේ දී දකුණ සහ බස්නාහිර පළාත්වලින් ආරම්භ කෙරුණු සුවසැරිය ගිලන් රථ සේවය, සෙසු පළාත්වලට ද ව්‍යාප්ත කෙරිණ. මේ වනවිට දිවයින පුරා සුවසැරිය 1990 ගිලන් රථ 297ක් සේවාව සපයයි.

    සුවසැරිය ආරම්භ කිරීම සඳහා ඉන්දියාව, අමෙරිකානු ඩොලර් මිලියන විසි දෙකහමාරක යලි නොගෙවිය යුතු ප්‍රදානයක් ලබාදුන් අතර, පාර්ලිමේන්තු පනතක් මගින් සුවසැරිය පදනම ස්ථාපිත කෙරිණ. එය රජය පූර්ණ අනුබද්ධ සේවාවක් ලෙසයි ක්‍රියාත්මක වන්නේ. පළමු අදියරේදී ඉන්දියානු රජය ශ්‍රී ලංකාවට ගිලන් රථ 88ක් පරිත්‍යාග කළේය. පසුව තවත් ගිලන් රථ 209ක් පරිත්‍යාග කර තිබේ.

    එහිදී අදහස් දැක්වූ ඉන්දියානු මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා...

    “මෙම ව්‍යාපෘතිය තුලින් අප විසින් ලබාදුන් පොරොන්දුවක් සැබෑ කරදීමට හැකියාව ලැබුණා. මෙමඟින් ශ්‍රී ලාංකිය ජනතාවගේ ජිවිතවලට ළංවීමට අපිට හැකිවුණා. ඉන් පිළිබිඹු වූයේ ඉන්දියාවේ ජීව ගුණයක් වන බෙදා-හදා ගැනීමයි. පසුගියදා සිදුවු ව්‍යසනයේ දී ජිවිත බේරා ගැනීමට මෙම සේවාව මහත් සේ උපකාරී වුණා. ඉන්දීය ආධාර යටතේ නැගෙනහිර පළාතේ ව්‍යාපෘති මාලාවක් ක්‍රියාත්මක කිරීමටත් හැකිවුණා. ජනතාවගේ අපේක්‍ෂාවන් හා අවශ්‍යතා පදනම් කරගත් ව්‍යාපෘති රැසක් ඉටු කරගැනීමට හැකිවුණා.“ යැයි මහකොමසාරිස්වරයා පැවසීය.

    Latest News