කිරින්ද රළ පහරට හසුවූ තවත් දියණියක් මරුට

ජූනි 23, 2019

    කිරින්ද, පලටුපාන මුහුදු වෙරළේ දී රළ පාගමින් සිටි, එකම පවුලේ මව, පියා සහ දියණියන් දෙදෙනෙකු රළ පහරට හසුවී තිබේ. සිද්ධයෙන් පියා සහ දියණියන් දෙදෙනා මියගොස් ඇත.

    විනෝද චාරිකාවක් සඳහා හම්බන්තොටට පැමිණි ඔවුන්, අද උදෑසන 7.30ට පමණ නවාතැන් ගෙන සිටි හෝටලයට ආසන්න මුහුදු වෙරළේ රළ පාගමින් සිටින අවස්ථාවේ රළ පහරකට වැඩිමහල් දියණිය ගසාගෙන ගොස් තිබේ. එහිදී ඇය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී පියා, අනෙක් දියණිය සහ බිරිඳ රළ පහරට හසුව ඇති බව පොලිසිය පවසයි. ප්‍රදේශවාසීන් ඔවුන් රෝහල්ගත කළ ද පියා සහ වැඩිමහල් දියණිය මියගොස් ඇත.

    අනෙක් දියණිය දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන, නුවන් ජයසූරිය, සහලා ජයසූරිය, නදීශා ජයසූරිය යන පියා සහ දියණියන් දෙදෙනායි. රළ පහරට හසුවූ මව, අම්පාර රෝහලට රැගෙන ගොස් ඇත්තේ, හම්බන්තොට ප්‍රදේශයේ කිසිදු රෝහලක දැඩි සත්කාර ඒකකයක ඉඩ නොමැති වීම නිසා බව අප වාර්තාකරු පවසයි. මවගේ තත්වය සාමාන්‍ය බව, අම්පාර මහ රෝහලේ නියෝජ්‍ය වෛද්‍ය අධ්‍යක්‍ෂ, වෛද්‍ය රමේෂ් නානායක්කාර මහතා කියා සිටී.

    Latest News