යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 හා 19 සංශෝධන අහෝසි විය යුතුයි; ජනපති

ජූනි 23, 2019

    නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ යහපත් පාලනයක් ඉදිරියේ දී රට තුළ ඇතිකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 සහ 19 වන සංශෝධනයන් අහෝසි විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    18 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රමයේ තිබූ රාජාණ්ඩු හා ඒකාධිපති ස්වරූපය හේතුවෙන් නව ආණ්ඩුවක් පිහිටුවා 19 වන සංශෝධනය ගෙන ආව ද එම සංශෝධනය හරහා එක දේශපාලන නායකත්වයක් යටතේ ගමන් කිරීමට නොහැකි වීමෙන් රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වූ බවත්, ඒ තුළ යහපාලන රජයේ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපිරීම වෙනුවෙන් අද (23) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ අද රටට අවශ්‍ය ඇත්තේ ජනතා සිතුම් පැතුමි හඳුනන ජන හිතකාමී පාලනයක් බවත් ඒ සඳහා රටට ආදරය කරන සහ අවංක දේශපාලන නායකයින් සිටිය යුතු බවත්ය. එමෙන්ම රටේ සංවර්ධනයේ ශක්තිමත්ම බලඇණිය වන ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින් වංචාවෙන් දූෂණයෙන් තොරව තම වගකීම් නිසිලෙස ඉටුකරන්නේ නම් මහජන අවශ්‍යතා කඩිනමින් ඉටුකර දිය හැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

    ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, හිටපු අමාත්‍යවරියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40 ක් සපිරීම වෙනුවෙන් පැවති සැමරුම් උත්සවයේදී ජනාධිපතිතුමා කළ කතාව...

    “මේ අප රටේ නිවාස සංවර්ධන විප්ලවය, පරිවර්තනය ඇතිවුණේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීමෙන් පසුව බව පිළිගන්න ඕන. පැවති ආණ්ඩු යම් යම් ප‍්‍රමාණවලට නිවාස ඉදිකෙරුණා. අද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වසර 40 ක අතීතය පිළිබඳව උත්සවය පවත්වනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් විශිෂ්ටතම සේවාවක් කළේ. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ කාලය තුළ බව අප පිළිගත යුතුයි. පේ‍්‍රමදාස මැතිතුමා මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්න හොඳින් අවබෝධ කර ගත්තා. ඒ තුළින් තමයි නිවාස වැඩසටහන බිහිවුණේ. උදාගම් වැඩසටහන මේ රටේ නිවාස වැඩසටහනේ නවෝදයක් විප්ලවයක් සහ පරිවර්තනයක් සිදු කළා. මම මන්ත‍්‍රීවරයෙක් විදියට නැති කාලෙත් මම ඒ උත්සවවලට ගිහින් තිබෙනවා. පේ‍්‍රමදාස මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලේ මම විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක්. පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ටත් වඩා විපක්ෂයේ මන්ත‍්‍රීවරුත් සමග සම්බන්ධකම් පවත්වපු කෙනෙක්. ඒකෙන් අදහස් කරන්නේ එතුමා ආණ්ඩු පක්ෂයේ අයට සැලකුවේ නෑ කියලා නෙවෙයි. නමුත් නායකයෙක් විදියට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව එතුමා වැඩ කළා.

    එය දේශපාලනඥයින් තුළ පිහිටිය යුතු ඉතා වැදගත් ලක්ෂණයක්. බොහෝ දේශපාලනඥයින්ට පිහිටන්නේ නැති ලක්ෂණයක්. අපේ රටේ ප‍්‍රාදේශීය සභාවේ සිට පාර්ලිමේන්තුව නියෝජනය කරන අය හමුවෙන්න සාමාන්‍ය ජනතාව ගියාම ඒ අය අහනවා ඡන්දේ දුන්නේ කාට ද කියලා. නැත්නම් මනාප දුන්නේ කාටද අහනවා. මට ඡන්දෙ දුන්නේ නැති නිසා මේ වැඬේ කරලා දෙන්නේ නැහැයි කියලා මූණටම කියන මැති ඇමතිවරු ඉන්නවා. එය දේශපාලනඥයෙක්ට තිබිය යුතු ලක්ෂණයක් නෙවෙයි. ඒ ගති ලක්ෂණ සැබෑ මානවවාදී දේශපාලනඥයෙක්ට තියෙන්න බැහැ. මට මනාප දුන්නේ නැති නිසා රස්සාව දෙන්නේ නැහැ. ගෙයක් දෙන්නෙ නැහැ කියන එක දේශපාලනඥයෙකුට සුදුසු කතාවක් නෙවෙයි.

    පේ‍්‍රමදාස ජනාධිපතිතුමා ඒ භේදයෙන් බැහැරව කටයුතු කළ කෙනෙක්. පාර්ලිමේන්තුවේ 225ට ම එක වගේ වැඩකරපු කෙනෙක්. මම ඒ කාලේ විපක්ෂයේ මන්ත‍්‍රීවරයෙක් විදියට හිටියත් ආණ්ඩුවේ මන්ත‍්‍රීවරයෙක් වගේ එතුමාගෙන් උදව් අරන් තියෙනවා. එතුමා පාන්දර 4 සිට නැගිටලා මහජනයා හමුවන විට මම පොළොන්නරුවේ සිට පාන්දර 4.30 ට විතර පොළොන්නරුවේ යම් යම් ප‍්‍රශ්න කියන්න එතුමාට දුරකතනයෙන් කතා කරනවා. එතුමා ආරම්භ කළ මේ රටේ නිවාස සංවර්ධනයේ පරිවර්තනය කළේ මේ රටේ පොදු ජනතාවට හා විශේෂයෙන් දුප්පතුන් සඳහායි. දුප්පතුන් ගොඩගන්න. දුප්පතුන් පොහොසත් කරන්න කිව්වොත් වැරදියි දුප්පතුන් ජීවත් කරවන්නයි. දුප්පතුන්ව පෝසත් කරන්න කියන්නේ අමාරු වැඩක්. දුප්පතුන් මිනිසුන් විදියට කරදරයක් හිරිහැරයක්, ණයක් නැතිව සතුටින් නිදහසේ රස්සාවක් කරගෙන කාලා බීලා නිදහසේ ජීවත්වීමයි අවශ්‍ය වෙන්නේ.

    ඒ නිසා පේ‍්‍රමදාස ජනාධිපතිතුමාගේ තිබුණු මිනිසුන් ජීවත්කරවීමේ ප‍්‍රතිපත්තිය දුප්පතුන් සඳහායි. අද සජිත් පේ‍්‍රමදාස මැතිතුමා ඒ වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යනවා. තම පියා ගෙන ගිය ශ්‍රේෂ්ඨ වැඩපිළිවෙළ හඳුනාගෙන ඊට දෙන නායකත්වය අපි ඉතාමත් අගය කරනවා. මම සජිත් ඇමතිතුමාට ගරු කරන කරුණු දෙකක් තිබෙනවා. ඒ කරුණු දෙක සමහර ඇමතිවරුන්ට නැහැ. මේ ආණ්ඩුවෙත් නැහැ. හුඟක් ආණ්ඩුවලත් නැහැ. එකක් තමයි වැඩකිරීමට තිබෙන කැපවීම, උනන්දුව, අවංකකම හා කැපවීම. ඒ එකක්. දෙවැන්න තමයි බොහෝ දේශපාලනඥයින්ට නැති දූෂණයෙන් තොර ඇමතිවරයෙක් වීම. ඒ කරුණු දෙක නිසයි මා සජිත් පේ‍්‍රමදාස ඇමතිතුමාට සලකන්නේ. සමහර අයගෙන් පොඩි චෝදනාවකුත් තියෙනවා මම සජිත්ට වැඩියෙන් සලකනවා කියලා. එයාව උස්සනවා කියනවා. හැම කෙනෙක්ම මම උස්සනවා අවංකව කැපවීමෙන් වැඩ කරනවා නම්. මම සජිත් ඇමතිතුමාට කියලා තියෙනවා දහයෙන් පස්සේ එහෙ මෙහෙ යන්න එපා. දහය වෙනකොට වැඩ නවත්වන්න කියලා. ඒ නිසා හිටපු ගමන් එතුමා අසනීප වෙනවා. නමුත් එතුමා පැය 24 බලන්නේ නැතිව වැඩ කරනවා. එය දේශපාලනඥයෙක් තුළ තිබිය යුතු විශිෂ්ට ලක්ෂණයක්. ඒ නිසා එතුමා ගැන අපි සතුටු වෙන්න ඕනෑ.

    ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක කාලයක් වෙනවා එදා මෙදා සේවය කළ විශ‍්‍රාමික අයටත් මෙහිදී මතක් කිරීම ඉතාම වැදගත්. මේ රටේ රාජ්‍ය සේවයේ ලක්ෂ 16ක් ඉන්නවා. රටේ සංවර්ධනයේ ශක්තිමත්ම ප‍්‍රමුඛ බල ඇණිය තමයි ලක්ෂ 16ක රාජ්‍ය සේවකයින්. ඒ ලක්ෂ 16 තමාගේ සේවය නිසි ලෙස දූෂණයෙන් වංචාවෙන් තොරව ඉටුකරනවා නම් මේ රටේ ප‍්‍රශ්න අඩුයි. බොහෝ චෝදනා, පැමිණිලි එන්නේ දේශපාලනඥයින්ටමයි. මාධ්‍ය කෙලින්ම වෙන් කරන්නේ දේශපාලනඥයින්ට පහරදීමට විතරයි. නමුත් මේ රටේ රාජ්‍ය සේවයේ සියයට 10ක් විතර අන්ත දූෂිතයි. ඉතාමත් අවංකව සේවය කරන පිරිස් ඉන්නවා සියයට 50කට වැඩියෙන්. ජනතාවගේ ප‍්‍රශ්න හඳුනාගැනීම, කාර්යක්ෂම ලෙස ඒවා ඉටුකර දීම, මිනිසුන්ට ආදරය, සෙනෙහස, දයාව පෙන්වීම මෙය දේශපාලනඥයා තුළ පමණක් තිබිය යුතු ලක්ෂණයක් නෙවෙයි. එය රාජ්‍ය සේවකයා රාජ්‍ය නිලධාරීන් සතුව ද තිබිය යුතු ලක්ෂණයක්. දේශපාලනඥයින් ළඟට එන්නෙත් රාජ්‍ය නිලධාරීන් ළඟට එන්නෙත් අසරණ අහිංසක දුප්පත් ජනතාවයි. අතේ මිටේ තියෙන අය, වත් පොහොසත්කම් තිබෙන අය දේශපාලනඥයින් හෝ රාජ්‍ය නිලධාරීන් හමුවෙන්නේ නැහැ. ඉතා පීඩාවට පත්වූ දුප්පතුන් තමයි දේශපාලනඥයා හමුවෙන්නෙත් රාජ්‍ය නිලධාරීන් හමුවෙලා තමන්ගේ දුක්ගැනවිලි කියන්නේත්.

    ඒ තුළ නිවාස අධිකාරියේ හතලිස් වසරක සේවය අපි අගය කරන්නේ දුප්පත් ජනතාව වෙනුවෙන් වෙන් වූ ආයතනයක් විදියටයි. වත් පෙහොසත්කම් නැති අය වෙනුවෙන්. ඒ නිසා එවැනි ආයතනයක දීර්ඝ කාලීන සේවය සැමරීම, ඇගැයීම ඉතාමත් වැදගත්. ඒ නිසා මම විශේෂයෙන්ම මේ වැඩසටහනට සුභ පතනවා ආශිර්වාද කරනවා සජිත් පේ‍්‍රමදාස ඇමැතිතුමාගේ වැඩසටහන තව තවත් සාර්ථකව ශක්තිමත්ව ඉදිරියට යන්නට මම ආශිර්වාද කරනවා. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා මේ රටේ නිවාස පිළිබඳව කතාකරන විට මතක් වෙන කෙනෙක්. මේ රටේ රාජ්‍ය නායකයින් ගතහොත් නිදහස ලැබීමෙන් පසුව අපේ රටේ ඞී.එස්. සේනානායක මැතිතුමාගේ ඉදලා ඒ රාජ්‍ය නායකයින් ළඟ තිබුණු එක් එක්කෙනා සතුව තිබුණු විශේෂ ගති ලක්ෂණ තිබෙනවා. සුවිශේෂි ගති ලක්ෂණ තියෙනවා.

    මේ රටේ රාජ්‍ය නායකයින් අතරින් දෙදෙනෙක් මරලා දැම්මා. 1959 එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමාව ආණ්ඩුවේ අය විසින්ම මරලා දැම්මා. සජිත් පේ‍්‍රමදාස මැතිතුමාගේ පියාණන් රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා එතුමාගේ තිබුණු මානුෂියභාවය තුළ එතුමා ප‍්‍රභාකරන් වැනි අය විශ්වාස කළා. රටේ සාමය ඇතිකිරීම සඳහා ගෙනියන වැඩපිළිවෙළදී අත්වැල් බැ‍ඳගෙන වැඩකරයි කියලා. නමුත් ප‍්‍රභාකරන් වැනි මිලේච්යෙක් තුළ තිබූ අමානුෂික ගතිගුණ නිසා මෙරට සිටි විශිෂ්ට නායකයින් රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා මරලා දැම්මා. ඒ සියලූ දේ පිළිබඳව අපි පාඩම් ඉගෙන ගන්න ඕන.

    මේ රටේ සමහර දේශපාලනඥයෝ මරලා දානවා සමහර අයව නොමර මැරුවා. ඒ දෙකම අද මේ රටේ තියෙනවා. මරලා දාන අයයි නොමරා මරන අයයි දෙකම තමුන්නාන්සේලා තේරුම් ගන්න ඕන ඉතින් සාමාන්‍ය පොඩි මිනිසුන්ට උදව් කරන්න ගියොත් පොඩි මිනිස්සු අතරින් මිනිහෙක් ගොඩනැගුණොත් මරලා දැමීම හෝ නොමරා මැරීම තමයි කරන්නේ. මරලා දානවට වැඩිය දරුණුයි නොමරා මරණ එක. ඉතින් මේ වගේ දවසක විශේෂයෙන්ම මං මේ කරුණු සඳහන් කළේ රටක් විදියට අපිට තිබෙන අභියෝග පැහැදිලිව තේරුම් ගැනීම අවශ්‍ය නිසා.

    ගරු අගමැතිතුමනි,වසර 40 ක් නිවාස අධිකාරිය සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරාමාරකට වැඩි කාලයක් ගතවෙලා තිබෙනවා. මේ අවුරුදු හතරාමාරක කාලයෙන් මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක් පහක්. අවුරුදු හතරාමාරක කාලසීමාවේ අපි හොයලා බලන්න ඕන අපි හරියට කෙරුවද වැරදුනාද වැරදිච්ච තැන් මොනාද කියලා.

    පශ්චාත් මරණ පරීක්ෂණය දැන් තියන්න වේලාව ඇවිල්ලා තියෙනවා. අපි මේවා කතා කරන්න ඕන. අවුරුදු හතරහමාරක කාලය තුළ ආණ්ඩුව රටේ නරක් වුණා නම් නරක් වුණේ ප‍්‍රධානම හේතුව තමයි 19 වන සංශෝධනය. 19 වන සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව ඉතාම හොද ආණ්ඩුවක්. මේ රටේ ජනතාව අතරේ චෝදනාවක් තිබෙනවා අගමැතිතුමායි මායි දෙපැත්තට අදිනවයි කියලා. ඒ දෙපැත්තට අදින තත්ත්වය ඇතිවුණේ 19 වන සංශෝධනයෙන්. 18 වන සංශෝධනය මහින්ද රාජපක්ෂ මහත්තයාගේ රාජ්‍ය ආණ්ඩුක‍්‍රමයක්. ඒක තනිකර ආඥාදායක ක‍්‍රමයක් 18 වන සංශෝධනය. 18 වන සංශෝධනය අහෝසි කරන්න තමයි අපි ආණ්ඩුවක් හැදුවේ. 18 වන සංශෝධන ක‍්‍රමයේ රාජ්‍ය ආණ්ඩුක‍්‍රමයත් ඒකාධිපති ක‍්‍රමයත් ඒක ඉතාමත්ම නුසුදුසුයි. 19 වන සංශෝධනය මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිවුණා. ඒක නායකයෙක් නැතුව ගියා. 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිත්, අගමැතිත් දෙපැත්තට අදින ක‍්‍රමයක් හැදුනා. ඒකෙන් රටටත් විශාල අලාභයක් සිදුවුණා. ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. මේ රට යහපත් රටක් විදියට ගොඩගන්න නම් විශේෂයෙන්ම බොහෝ දේශපාලන විචාරකයින් කතා කරන මාධ්‍යවල කතාකරන මීට වඩා වෙනස්ව හිතන්නට ඕන. 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් මේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මේ සංශෝධන දෙකම අවලංගු කෙරුවොත් තමා මේ රටට යහපතක් වෙන්නේ. 18 ඒකාධිපති 19 අස්ථාවරත්වය. රට ආරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ 19 වන සංශෝධනයෙන් ඇතිවෙච්ච තත්ත්වය. 19 වන සංශෝධනයක් ඇතිනොවුණා නම් මේ අවුරුදු හතර හමාර මීට වඩා විශිෂ්ට ජයග‍්‍රාහී සිව්වසරක්.

    නිවාස අධිකාරියත් මේ වැඩපිළිවෙලත් මීටත් වඩා කාර්යක්ෂමව වේගවත්ව ඉටුකරා. ඒක නිසා අපි පිළිගන්න ඕන අපි අතින් සිදුවෙලා තියෙන වැරදි මොනවාද කියලා. පාර්ලිමේන්තුවේ 225 න් 215ක් 19 වැනි සංශෝධනයට ඡන්දේ දුන්නා. 19 වැනි සංශෝධනය හදපු ආණ්ඩුක‍්‍රම විශාරදයෝ හිතුවේ නැහැ මේ රටට මේ විනාශය සිද්ධ වෙයි කියලා මේ 19 වැනි සංශෝධනයෙන්. ඒ නිසා අනාගතයේ රට ගොඩගන්න නම් පුද්ගලයින් පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ප‍්‍රශ්නයක් තියෙන්නේ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ 18 සහ 19 අහෝසි කරපු දවසට මේ රටේ ජනතාව සතුටු වෙන හොඳ පාලනයක් ගෙනියන්න පුළුවන්. එතනින් හොඳ ප‍්‍රතිඵල පෙන්නන්න පුළුවන්. ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් තියෙනවා. නිදහසත් තියෙනවා. සාමයත් තියෙනවා. මාධ්‍ය නිදහසත් තිබෙනවා. කාර්යක්‍ෂමව වැඩකරන්නත් පුළුවන්. ඒ සියල්ල සම්පූර්ණ වෙනවා. ඒ නිසා මම අද දවසේ මේ කාරණාව විශේෂයෙන්ම සඳහන් කළේ තමුන්නාන්සේලා අපි හැම කෙනෙක්ම රටට ආදරය කරන පිරිසක් විදියට රටේ අනාගතය වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් වගේම අභියෝග අපි තේරුම් අරගෙන රට ගොඩගන්න රට ශක්තිමත් කරන්න රට යහපත්ව ඉදිරියේ ලෝකයේ ප‍්‍රබුද්ධ රාජ්‍යයක් විදියට ඉදිරියට යන්න මේ තියෙන බාධවන් අප විසින් ඉවත් කරගැනීමේ අවශ්‍යතාවය නිසයි.

    ඒ නිසා මා නැවතත් සජිත් පේ‍්‍රමදාස මැතිතුමාට, එතුමාගේ කාර්ය මණ්ඩලයට, අමාත්‍යංශයට, ජාතික නිවාස සංවර්ධන අධිකාරියට, මීට අනුග‍්‍රහය දෙන සියලූ ආයතනවලට මගේ ගෞරවනීය සුභාසිංශනය ආශිර්වාදය සුබපැතුම් පිරිනමමින් පොදු මහජනතාව වෙනුවෙන් සේවය කරන්න ඔබේ ආයතනයට කාර්ය මණ්ඩලයට සහ ඔබට තව තවත් ධෛර්යය ශක්තිය වාසනාව වැඩි වැඩියෙන් ලැබේවායි කියලා ආශිර්වාද කරමින් සුබ පතනවා මා සමුගන්නවා. ස්තූතියි.

    Last modified on ඉරිදා, 23 ජූනි 2019 19:51

    Latest News