අන්තර් ජාතික සමුළු 2ක මුලසුන දෙසුම්, රූපවාහිනී අධ්‍යක්ෂ ජනරාල්ගෙන්

ජූනි 22, 2019

    ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජයරත්න මහතා පසුගිය සතියේ චීනයේ හා කාම්බෝජියාවේ පැවති ප‍්‍රධාන අන්තර්ජාතික සම්මන්ත‍්‍රන දෙකක මුලසුන දේශනය පවත්වනු ලැබීය.

    ඉන් ප්‍රථම දේශනය පසුගිය 11 වැනිදා චීනයේ කුන්මින් නුවර පැවති චීන - දකුණු ආසියා මාධ්‍ය සහයෝගීතා සමුළුවේදී "ආසියානු රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා මාධ්‍යයේ කාර්යභාරය” යන තේමාව යටතේ පැවැත්වූයේය. ඉන්පසු දෙවන දේශනය ලෙස 13 වෙනිදා කාම්බෝජයේ සිම්රීප් නුවර පැවති ආසියානු මාධ්‍ය සම්මන්ත‍්‍රනයේ දී "ඩිජිටල් මාධ්‍යන්හි ප‍්‍රගමණය හා මාධ්‍ය සදාචාරය” යන මැයින් මුලසුන දෙසුම පැවැත්වූයේය.

    චීනයේ කුන්මින් නුවර පැවති සම්මන්ත‍්‍රණය සඳහා රටවල් 23ක නියෝජිතයින් සහභාගී වී සිටි අතර එහිදී දේශන පැවැත්වූ චීනය, ඉන්දියාව, කොරියාව, නේපාලය, බංගලාදේශය, ඉරානය, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය යන රටවල මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දැවැන්තයින් අතරට සාරංග විජයරත්න මහතා ද එක්විය. චීන විදේශ අමාත්‍යංශය මඟින් සංවිධානය කළ "චීන - දකුණු ආසියා මාධ්‍ය සහයොගීතා සමුළුව" එම රටවල් අතර ආර්ථික, වෙළඳ, ආයෝජන හා සමාජ සංවර්ධනය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්විණි. එහි සමාරම්භක උත්සවය සඳහා රටවල් රැසක රාජ්‍ය ප‍්‍රධානීන් හා ව්‍යාපාරික දැවැන්තයන් රැසක් සහභාගී විය. චීනය හා දකුණු ආසියානු රටවල් අතර සහයෝගීතාව වර්ධනය කිරීමේ පාලමක් ලෙස ඕනෑම රටක ජනතාවගේ සිතුම් පැතුම් වෙනස් කිරීමට මාධ්‍යවේදීන්ට ඇති බලය පිළිබඳව ඔහු එම දේශනයේදී කරුණු ඉදිරිපත් කළේය. එමෙන්ම අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීමට චීනය හා දකුණු ආසියා රටවල්වල මාධ්‍යවේදීන් අතර ඇති සංවාදය හා අන්තර් හුවමාරු අවස්ථා වැඩි කිරීමේ වැදගත්කම සාරංග මහතා එහි දී පෙන්වා දෙන ලදී.

    saranga1

    කාම්බෝජයේ පැවති සම්මන්ත‍්‍රණය සඳහා ලොව දසතින් මාධ්‍ය විශේෂඥයන් 600 කට වැඩි පිරිසක් සහභාගී විය. එහිදී ඉන්දියාවේ ජාතික ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා මුලසුන හෙබවූ ප‍්‍රධාන විධායකයන්ගේ දේශන මාලාව අතරට සාරංග මහතාගේ දේශනය ද ඇතුලත් විය. චීනය, කොරියාව, මලයාසියාව, ෆීජි, පිලිපීනය, භූතානය, ඉරානය නියෝජනය කරමින් මාධ්‍ය ප‍්‍රධානීන් මෙහිදී දේශන පවත්වනු ලැබීය. ආසියා - පැසිෆික් මාධ්‍ය සංවර්ධන ආයතනය මඟින් කාම්බෝජයේ දින දෙකක් පුරා පැවති ආසියානු මාධ්‍ය සම්මන්ත‍්‍රණය පවත්වනු ලැබුවේ 16 වන වරටයි. එහි ප‍්‍රධාන ආරාධිතයා ලෙස කාම්බෝජියාවේ අගමැතිවරයා සහභාගී විය. එම සමුළුවේ ප‍්‍රධාන තේමාව වූයේ "නව මාධ්‍යන්හි ආගමණය සාම්ප‍්‍රදායික මාධ්‍යන්ට සිදුකර ඇති බලපෑම” පිළිබඳව සාකච්ඡා කිරීමයි. කාම්බෝජියා සමුළුවේදී සාරංග මහතා ඉදිරිපත්කළ දේශනයේදී නව මාධ්‍ය වෙත වේගයෙන් ජනතාව ආකර්ශනය වීමට බලපෑ හේතු හා සමාජජාල හරහා ප‍්‍රවෘත්ති සංන්නිවේදනය කීරීමේදී ඇතිවන ගැටළු පිළිබඳ දීර්ඝව අදහස් දක්වන ලදී. නව මාධ්‍ය හරහා සිදුවන වගකීම් විරහිත  ප‍්‍රවෘත්ති සන්නිවේදනය, ඒ හරහා සමස්තයක් ලෙස මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විශ්වාසනීයත්වයට ඇති බලපෑම යන කරුණු හා ඊට ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව  එම දේශනයට අන්තර්ගත විය.

    මේ සම්මන්ත‍්‍රන දෙක සඳහාම ශ‍්‍රී ලාංකීය මාධ්‍ය ආයතනයක් නියෝජනය කරමින් දේශන පැවැත්වූ එකම මාධ්‍ය ප‍්‍රධානියා වූයේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජයරත්න මහතායි. සාරංග මහතා මීට පෙර ජර්මනියේ "ලෝක ප‍්‍රකාශකයන්ගේ සමුළුව”, නෙදර්ලන්තයේ "අන්තර්ජාතික පුවත්පත් සමුළුව”, ඩුබායිහි "මැදපෙරදිග පුවත්පත් සමුළුව”, ඉන්දියාවේ "ආසියානු පුවත්පත් සමුළුව”, ඇතුළු දෙස් විදෙස් සමුළු රැසක ප‍්‍රධාන දේශන පවත්වා ඇත. ඔහු අවසාන වතාවට මෙවැනි දේශනයක් පවත්වනු ලැබූයේ පසුගිය මාර්තු මාසයේ චීනයේ හයිනෑන් ප‍්‍රාන්තයේ BOAO සමුළුවේදීය. ඒ එහි මුලසුන දේශනය පැවැත්වූ එකම ශ‍්‍රී ලාංකිකයා ලෙසයි.

    Last modified on සෙනසුරාදා, 22 ජූනි 2019 18:30

    Latest News