මධුමාධවගේ මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි

ජූනි 13, 2019

    මිනුවන්ගොඩ කලහකාරී සිද්ධීන් ගැන කර ඇති පරීක්ෂණ අනුව පිවිතුරු හෙළ උරුමයේ උප නායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමේ අවශ්‍ය නොවන බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දී තිබේ.

    අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද මහතා ගොනු කළ පෙත්සම අද බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී .දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුණ.

    මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව පොලීසිය සිදුකළ පරීක්ෂණ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ලැබි ඇතැයි නීතිපති වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නීතිඥවරිය දන්වා සිටියේය. එම විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමේදී මධුමාධව අරවින්ද අත්අඩංගුවට ගැනීමට තරම් සාක්ෂි එම විමර්ශන වාර්තා අනුව පෙනී යන බව රජයේ නීතිඥවරිය අධිකරණයට කියා සිටියේය.

    මධුමාධව අරවින්ද විමර්ශන කටයුතුවලට පූර්ණ සහය ලබා දීමට සූදානම් බවත් නොතීසියක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් යැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දිනී. ඒ අනුව අදාළ ප්‍රතිඥාව සටහන් කරගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අත්හිටුවීමට තීන්දු කළේය.

    පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

    මිනුවන්ගොඩ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වන බව මධුමාධව අරවින්ද මහතා සිය මුලික අයිතිවාසිකම් පෙත්සමෙන් කියා සිටි.මෙම සිද්ධියට කිසිදු සම්බන්ධතාවක් නොමැති බව මධුමාධව අරවින්ද පෙන්වා දෙයි. කලහකාරි සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවත් ඔහු සඳහන්කර සිටි.

    සාධාරණ පදනමක් නොමැතිව ද්වේෂ සහගත ලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.

    Latest News