විශ්වාසය ගොඩනැංවීමේ සමුළුවට ජනාධිපති ටජිකිස්ථානයට

ජූනි 13, 2019

    ආසියාවේ අන්තර් ක්‍රියා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ 5 වැනි සමුළුවට (Conference on Interaction and Confidence Building Measures in Asia - CICA) එක්වීමේ තෙදින නිල සංචාරය අරඹමින් ජනපති අද තජිකිස්ථානය බලා පිටව ගියේය.

    මෙම සමුළුව ආසියාවේ සාමය, ආරක්ෂාව හා ස්ථාවරභාවය ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් 1992 වසරේ දී ස්ථාපිත කරන ලද බහුජාතික සංසඳයකි. එය විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ දැඩි අවධානයක් යොමු කරයි.

    ශ‍්‍රී ලංකාව 2012 වසරේ සිට එහි නිරික්ෂණ රාජ්‍යයක් ලෙස කටයුතු කොට ඇත.එහි සාමාජික රාජ්‍ය 26 විසින් 2018 අගෝස්තු 15 වැනි දින ශ‍්‍රී ලංකාව සාමාජික රටක් ලෙස පිළිගනු ලැබීය.

    ශ‍්‍රී ලංකාව මෙම සමුළුවේ සාමාජිකත්වය ලබාගැනීම එහි සෙසු සාමාජික රාජ්‍යයන් සහ ශ‍්‍රී ලංකාව අතර පවත්නා ද්විපාර්ශ්වික, ආර්ථික හා වෙළෙඳ සහයෝගීතාව මෙන්ම අන්තර් පුද්ගල සබඳතාද තවදුරටත් වැඩිදියුණු කිරීමට ඉවහල් විය.

    ආසියාවේ අන්තර් කි‍්‍රයා හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුවේ සාමාජික රාජ්‍යයන් අතර ඇෆ්ගනිස්ථානය, අසර්බයිජානය, බහරේනය, බංගලාදේශය, කාම්බෝජය, චීනය, ඊජිප්තුව, ඉන්දියාව, ඉරානය, ඉරාකය, ඊශ‍්‍රාලය, ජෝර්දානය, කසකස්ථානය, කිරිගිස්ථානය, මොංගෝලියාව, පාකිස්ථානය, පලස්තීනය, කටාරය, කොරියාව, රුසියාව, තජිකිස්ථානය, තායිලන්තය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හා වියට්නාමය යන රටවල් වේ.

    එහි 05 වන සමුළුව ජූනි 14 සහ 15 දෙදින තජිකිස්ථානයේ දුෂාන්බේ නරගයේ දී පැවැත් වේ.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ජූනි 15වැනිදා පැවැත්වෙන රාජ්‍ය නායක සමුළුවේ දී සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිය තෙදින නිල සංචාරයේ දී ජනාධිපතිතුමා තජිකිස්ථාන ජනාධිපති ඉමෝමාලි රාමොන් (Emomali Rahmon) මහතා ඇතුළු එරට රජයේ ඉහළ පෙළේ නියෝජිතයන් කිහිප දෙනෙකු සමඟ ද සාකච්ජා පැවැත්වීමට නියමිතයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 13 ජූනි 2019 11:22

    Latest News