රු.මි. 20ක අල්ලස් ගත් දෙදෙනාට ත්‍රී පුද්ගල මහාධිකරණය හමුවේ නඩු

ජූනි 12, 2019

    ඉකුත් 2018 වසරේ ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් වශයෙන් ලබා ගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා අග විනිසුරුවරයා විසින් අල්ලස් කොමිසමට අවසර ලබාදී තිබේ.

    කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍රෝපකරණ විකිණීමට අදාළ කටයුතු ඉටුකර දීම සඳහා ඉන්දියානු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 54 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ලබාගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඉකුත් 2018 වසරේ මැයි මාසයේදී එවකට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච් .කේ. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාව හිටපු සභාපති පියදාස දිසානායක යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණ.

    මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පැවරීමට අවසර ලබාදෙන මෙන් අධිකරණ සංවිධාන සංශෝධන පනත යටතේ අල්ලස් කොමිසම විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීම පිළිගත් අග විනිසුරුවරයා අදාළ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා අවසර ලබා දී තිබේ.

    Latest News