අගමැති මෝදි - මිත‍්‍ර රාජ්‍ය යුතුකම අසීරු අවස්ථාවේ අතනොහැර උපකාර කර ගැනීමයි

ජූනි 09, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනපති අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබිණ. ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර සමගින් පිළිගැනීම සිදු විය. දෙවන වරටත් ඉන්දීය අග‍්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතාගේ පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග වු අතර එම ඊට අදාල නිළ ඇයුම ශ්‍රී ලංකා ජනපති විසින් කරනු ලැබිණ.

    පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප‍්‍රහාර මාලාවෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා යි. ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡාවලට එක් වූහ.

    ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුවු අවස්ථාවක ශ්‍රී ලංකාවට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රථමයෙන්ම ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පිරිනැමීය. අසල්වාසී මිත‍්‍ර රාජ්‍යයන් ලෙස ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබඳතාවය ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බව ශ්‍රි ලංකා ජනපති පෙන්වා දුනී. මෝදි මහතාගේ මෙම සංචාරය ශ‍්‍රී ලංකාවේ ආර්ථික, වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත‍්‍රවල උන්නතියට වඩා යහපත් තත්ත්වයක් උදාවනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    සහෝදර සහ මිත‍්‍ර රාජ්‍යයන් වල යුතුකම අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බව ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහි දී සඳහන් කළේය. ශ‍්‍රී ලංකාවට පැමිණෙන ලෙස කළ ආරාධනය සතුටින් පිළිගත් ඔහු ඉන්දියාව ශ‍්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙස පවතින බව කියා සිටියේය. සියලූ පාර්ශ්වයන්ගේ සහය ඇතිව සියලූ ජන කොටස් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රට තුළ ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද නරේන්ද්‍ර මෝදි මහතා සතුට පළ කළේය.

    දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවාගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබඳව ද නායක දෙපළ අතර සාකච්ඡා කෙරිණ. ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටම ත‍්‍රස්ත ප‍්‍රහාරවලට ලක් වූ රටවල් වන අතර කුමන අන්දමේ හෝ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් තරයේ හෙළා දකින බව අවධාරණය කළ නායකයෝ ත‍්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළයුතු බවට ද එකඟ වූහ.

    ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ගැඹුරු මිත‍්‍රත්වය පදනම අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය සහ එකිනෙකාට සහය දැක්වීමේ ප‍්‍රතිපත්තිය මත බව ද මෙහිදී සඳහන් කෙරිණි. දෙරට අතර එම සුවිශේෂී සහ සබඳතාවය ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයෝ එකඟ වූහ.
    තමන් වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම සහ සත්කාර පිළිබඳ ජනාධිපතිතුමා වෙතත් ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව වෙතත් සිය ස්තූතිය පුද කිරීමට ද ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

    මේ අතර මෙම සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ‍්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නායක දෙපළ එක් වූහ.ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිහිපත් කරමින් අද දින නායක දෙපළ ලබාගත් ඡායා රූපයක් සහ පසුගියදා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ පදවි ප‍්‍රාප්ති උලෙළේ දී ලබාගත් විශේෂ ඡායා රූපයක් මෙහිදී ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

    modimeethe px 900 19 06 09

     

     

     

    Latest News