ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හෙට ශ්‍රී ලංකාවට (වීඩියෝ)

ජූනි 08, 2019

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවකට අනුව එක් දින රාජ්‍ය චාරිකාවක් සඳහා හෙට(09) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම විදේශ නායකයා වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතායි. ශ්‍රී ලංකාවේ පවතින ආරක්‍ෂිත තත්වය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ චාරිකාව තුළින් තවදුරටත් ලෝකයට තහවුරු කෙරෙනු ඇතැයි සැලකේ. සිය දෙවැනි ධූර කාලයේ ප්‍රථම විදේශ චාරිකාව ආරම්භ කිරීමට පෙරාතුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, කේරළ ප්‍රාන්තයේ ගුරුවයුර් කෝවිලට ගොස් ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව, ඔහු කේරළයේ සිට මාලදිවයින බලා පිටත්විය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මාලේ අගනුවර වෙත ළඟා වූයේ අද (08) සවස 3.30ට පමණ.

    මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා සහිඩ් ඇතුළු රජයේ ප්‍රධානීන් විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගනු ලැබීය. අනතුරුව අද සවස ඔහු මාලදිවයින් පාර්ලිමේන්තුව අමතා දේශනයක් පැවැත්විය. ඉන්දීය අගමැතිවරයාගේ මාලදිවයින් සහ ශ්‍රී ලංකා චාරිකා සැලකෙන්නේ, අසල්වැසි රාජ්‍යයන්ට ප්‍රමුඛස්ථානයක් ලබාදීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කිරීමක් ලෙසයි. සිය ප්‍රථම විදේශ චාරිකාවේදී ශ්‍රී ලංකාවට පැමිණිමට අගමැතිවරයා තීරණය කිරීම මෙරටට සහය පළ කිරීමේ වැදගත් අවස්ථාවක් ලෙස ද සැලකේ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු උද්ගත වූ අභියෝගවලදී ශ්‍රී ලංකාව සමඟ එක්ව සිටිමින් දිගටම සහය දැක්වීම එහි එක් අරමුණක්. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව පිළිබඳව ලෝකයටම තිරසාර පණිවුඩයක් ලබාදීම ද ඉන්දීය අගමැතිවරයාගේ චාරිකාව තුලින් සිදුවනු ඇතැයි එරට මාධ්‍ය පවසයි.

    අගමැති මෝදි සිය ප්‍රථම ධූර කාලය තුළදී දෙවතාවක් ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබේ. 2015 වසරේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය චාරිකාව සිදු කළ අග්‍රාමාත්‍ය මෝදි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා නව මඟකට යොමු කිරීමට පියවර ගත්තේය. වසර 28කට පසු ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ චාරිකා කළ ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් රජය සමඟ පසුගිය වසර 5ක කාලය තුළ ඉන්දු-ලංකා සබඳතා වඩා ඉහළ තලයකට ළඟා වී ඇත. නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවැනි ශ්‍රී ලංකා චාරිකාව ඉකුත් වසරේ මැයි මාසයේ සිදු කෙරුණේ, අන්තර් ජාතික වෙසන් උත්සවය නිමිත්තෙනි.

    ඉන්දියාව ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සංවර්ධන හවුල් කරුවෙකි. 2005 වසරේ සිට මේ දක්වා අසල්වැසි ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති මුල්‍යාධාර සහ ණය සහනවල වටිනාකම අමෙරිකානු ඩොලර් කෝටි 260 ඉක්මවා තිබේ. මේ අතරින්, ඩොලර් මිලියන 436ක් ලැබී ඇත්තේ, මූල්‍යාධාර ලෙසයි. සහන ණයවල වටිනාකම ඩොලර් කෝටි 210ක්. ඉන්දියාවේ පිළිවෙත වන්නේ, ශ්‍රී ලංකා රජයේ හා මෙරට ජනතාවගේ අවශ්‍යතා හඳුනාගෙන ඊට අවශ්‍ය සහය ලබාදීමයි.
    හෙට (09) පෙරවරුවේ දිවයිනට ළඟාවන ඉන්දීය රාජ්‍ය නායකයා උණුසුම් අයුරින් පිළිගැනීමට සියල්ල සූදානම් කර තිබේ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 22:35

    Latest News