අන්තවාදී ක්‍රියා පැතිරවීමෙන් ආර්ථිකයට මරු පහරක් - අගමැති

ජූනි 07, 2019

    කුමන අරමුණකින් සිදු කළ ද රට තුළ අන්තවාදී ක්‍රියා පැතිරවීමෙන් සිදුවන්නේ, රටේ ආර්ථිකයට මරු පහරක් එල්ලවීම බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පසුගිය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඇතැම් රටවල් ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම මේ වනවිට ඉවත්කර ඇති බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටී.
    එහිදී අදහස් ප්‍රකාශ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා....

    “සංචාරක ව්‍යාපාරය මේ බෝම්බ පිපිරීමෙන් පස්සේ තහනම් උපදේශ නිසා රටවල් ගණනාවකින් ආපු සංචාරකයෝ ආපසු පිටවෙලා ගියා. අපි දැන් ක්‍රියා කරන්නේ තියෙන උපදේශක ඉවත් කරන්න. දැනට රටවල් කිහිපයක් ඉවත් කරලා තියෙනවා. ඒ වගේම යුරෝපීය රටවල් මං හිතන්නේ අද හෙටම ඉවත් කරන්න යනවා. විශේෂයෙන්ම මෝදි අගමැතිතුමා ඉරිදා පැමිණෙන එකත් මේ රටේ ආරක්‍ෂාව කෙරෙහි තියෙන විශ්වාසය. නමුත් එයාගේ එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මෙහෙ ජාතිවාදී කෝලාහල ඇතිවෙයිද කියලා. මේ ඇතිවෙන සිද්ධි විශාල ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මම කැමතියි අපේ දිසා ලේකම්වරු විශේෂයෙන් මතක් කරන්න තමන්ගේ ප්‍රදේශය තුළ ජාතිවාදී ප්‍රශ්න ඇතිවෙන්න ඉඩදෙන්න එපා. එක සිද්ධියක් ඇතිවුණොත් ආපහු සංචාරක ව්‍යාපාරය කඩා වැටෙන්න පුලුවන්. ඒක තමයි අපිට තියෙන මුලික කාරණය. කෙටිකාලීන දේශපාලන වාසියට ජාතිවාදය ඇඳගන්න බලනවා. ඒත්, අන්තිමට වෙන්නේ අපේ ආර්ථිකයට මරු පහරක් ඇතිවෙන්න පුලුවන්“ යැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

    මේ අතර, ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වික්ටෝරියා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රෙයිග් ඔන්ඩච්වි මහතා කියා සිටියේ, ශ්‍රී ලංකාව දැන් සම්පූර්ණයෙන් සුරක්‍ෂිත බව සහතික විය හැකි බවයි. ඒ අනුව, සංචාරක සහ ආයෝජන කටයුතු වෙනුවෙන් සැකයකින් තොරව පෙර පරිදිම ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස, ඔහු සෙසු රටවලට ඇරයුම් කර තිබේ. ඔස්ට්‍රේලියානු මන්ත්‍රීවරයා මේ පිළිබඳ අදහස් පළ කළේ, අමාත්‍ය රවී කරුණානායක මහතා සමඟ පසුගියදා පැවති සාකච්ජාවකදී. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව හා සුරක්‍ෂිතභාව පිළිබඳ ඇති වූ ගැටලුව මේ වනවිට සම්පුර්ණයෙන් පහව ගොස් ඇති බව, ඔහු කියා සිටියේය. මෙරට විදුලිබල ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් යොදා ගත හැකි නවීන තාක්‍ෂණ ක්‍රමවේද පිළිබඳව ද මෙහිදී සාකච්ජා කෙරිණ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 07:33

    Latest News