ජනපති සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් (වීඩියෝ)

ජූනි 05, 2019

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය අතර හමුවක් අද (05) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

    දුම්රිය, අධ්‍යාපන, සෞඛ්‍ය සහ කම්කරු ක්ෂේත‍්‍ර ඇතුථ රාජ්‍ය අංශයේ සියලූ ක්ෂේත‍්‍රවල පවතින ගැටලූ මෙහිදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණි. එමෙන්ම දැනට රාජ්‍ය සේවයේ නියුතු 2016 ජනවාරි 01 වන දිනෙන් පසු පත්වීම් ලැබු පිරිසට විශ‍්‍රාම වැටුප් අයිතිය අහිමි වීම පිළිබඳ ගැටලූව, රාජ්‍ය සේවයේ දින 180ට වඩා සේවය කර ඇති අනියම්/ආදේශක සහ තාවකාලික සේවකයන් ස්ථිර කිරීම සඳහා පොදු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම සහ රාජ්‍ය සේවකයින්ට දෙවන භාෂා කඩඉම් පරික්ෂණය සමත්වීම පිළිබඳ විභාගයේ දී පොදු නීතියක් කි‍්‍රයාත්මක කිරීම ආදිය පිළිබඳව ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට ලක් විය.

    ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම ගැටලූ සඳහා විසදුම් ලබාදීමට සිදුකළ හැකි උපරිම මැදිහත්වීම තමා සිදු කරන බවයි. සෑම වෘත්තීය සමිතියකටම ඇති ගැටලූ ඊට අදාළ අදහස් සහ යෝජනා ලිඛිතව කඩිනමින් තමන් වෙත යොමු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිතුමා ඒවා අදාළ අමාත්‍යාංශ වෙත යොමු කර ඉදිරි පියවර සොයා බලන බව ද ප‍්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තීය සමිති ලේකම් ලසන්ත අලගියවන්න, උප ලේකම් වීරකුමාර දිසානායක යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනයේ ප‍්‍රධාන ලේකම් රෝයි ද මැල් මහතා ඇතුළු සංගමයේ නියෝජිතයින් 40කට ආසන්න පිරිසක් මෙම සාකච්ජාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 05 ජූනි 2019 22:55

    Latest News