ජනපතිගෙන් හා අගමැතිගෙන් රාමසාන් දින සුභ පැතුම් (වීඩියෝ)

ජූනි 05, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලොව පුරා රාමසාන් උත්සවය සමරන ඉස්ලාම් ජනතාව වෙනුවෙන් පණිවුඩ නිකුත් කරමින් සුභ පැතුම් එක්කර තිබේ.

    ජනාධිපතිතුමාගේ රාමසාන් දින පණිවුඩය..

    "විශ්වාසය, උපවාසය, පරිත්‍යාගය, නැමදීම සහ වන්දනාව යන ප්‍රධාන ස්තම්භයන් මත ඉස්ලාම් දහම ගොඩනැඟී ඇත. එකී දහම අදහන බැතිමතුන් පුරා චන්ද්‍ර මාසයක උපවාස කාලයක් නිම කොට සමරන රමලාන් උළෙල වෙනුවෙන් සුබපැතුම් එක්කරනුයේ හෘදයංගමවය.

    ලෞකික ආශාවන්ගෙන් ඉවත්ව ආගමික වත්පිළිවෙත් පුරමින් දිළින්දන් හා අසරණයන් වෙනුවෙන් තම ඉපැයුම් පරිත්‍යාග කරමින් ඉස්ලාම් බැතිමතුන් ගෙවන මේ උපවාස කාලය දකුණු ආසියාතික සියලු ආගමික දර්ශනවල ලෝකෝත්තර අරමුණු හා ඔවුන් සමීප කරවයි.

    අනෙකාගේ කුසගින්නෙහි වේදනාව අත්විඳිමින් උගෙන පරිත්‍යාගයෙන් ඔවුන් හා බැඳෙන්නට පුහුණු කරවන දහමක ඇසුර ලබන සමාජයක් පොදු මිනිස් වර්ගයා හට තිළිණයකි. ලොව පවතින සියලු ආගමික දර්ශන හෝ ආගමික ඇදැහිලි අපට හමුවනුයේ මිනිස් ශිෂ්ඨාචාරයේ දිගු ගමන් මඟ අතරතුරිනි. එනම් මනුෂ්‍යත්වයේ පොදු රැහැන පවතිනුයේ ආගම් ලබ්ධීන්ට බොහෝ එපිටිනි. අනෙකාගේ මනුෂ්‍යත්වයේ උදාර බවට ගරු කරන්නට උගන්වන කවර හෝ දහමක් මනුෂ්‍යත්වයේ පොදු රැහැනින් වෙන්වන්නට තම මිනිස් සමූහයට මඟ නොපෙන්වයි. ඉස්ලාම් දහම ද එබඳුය. එවන් දහමක පිළිවෙත් පුරමින් උපවාස ශීලය රැක, පරිත්‍යාගයෙන් තම මනුෂ්‍යත්වය පූර්ණ කොට ගනිමින් අද දින රමලාන් සමරන සියලු ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් රමලාන් උළෙලක් ප්‍රාර්ථනා කරන අතර අප වටා රැඳී ඇති අවිශ්වාසයේ සහ සැකයේ අඳුර දුරු වී සහෝදර මිනිසුන් ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි අනාගතයක් වෙනුවෙන් ඔබ සියලු දෙනා යාච්ඥා කරනු ඇතැයි අපේක්ෂා කරමි."

     

    අගමැතිතුමාගේ රාමසාන් දින පණිවඩුය...

    "ඉස්ලාම් දහම තුළ පවතින අධ්‍යාත්මික හර පද්ධතිය මෙන්ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනා ගැනීමට රාමසාන් උත්සව සමය කදිම අවස්ථාවකි. දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව එම ආගමික වටිනාකම් ඔස්සේ ජීවිතය ගත කළ ආකාරය අපි අත්දැක ඇත්තෙමු.
    මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරනු ලබන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය පරිත්‍යාගශීලීත්වයේ, සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයකි. තණ්හාව, ආශාව, ආත්මාර්ථය ආදී දුර්ගුණ දමනය කර, මනුෂ්‍යත්වය, පරිත්‍යාගශීලීත්වය වැනි යහගුණ ඉස්මතු කිරීමට මෙහි දී ප්‍රමුඛ අවධානය යොමු වේ.
    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ, මුස්ලිම් ජනසමාජයෙන් ඉතා සුළු පිරිසක් තම දහම තුළ පවතින මෙම උතුම් හර පද්ධතීන් බැහැර කරමින්, අන්තවාදය දෙසට ඇදී යාමේ භයානක ප්‍රතිඵල ය. ඉස්ලාම් දහමේ සැබෑ හරය පළුදු කරන මෙම අන්තවාදීන් සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

    ජාති, ආගම් භේදයෙන් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අප මව්බිම අභිවෘද්ධිය කරා ගෙන යමු. නිදහස, සමානාත්මතාවය, මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනංවන්නට අපි සැම කැපවෙමු. ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිදියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උළෙලක් වේවා යි හෘදයාංගම සුභාශිංසන පිරිනමමි."

     

    Last modified on බදාදා, 05 ජූනි 2019 22:02

    Latest News