තව්හිද් ජමාද් නායක සහරාන්ගේ කණ්ඩායම අන්තවාදයට යන බව සොයා ගෙන තිබුණා

ජූනි 04, 2019

    පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද තුන්වැනි දිනටත් රැස්විය.

    ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු අධ්‍යක්‍ෂ, හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගෙන් අද සාක්‍ෂි විමසීම සිදු කෙරිණ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද සවස 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක එකේදී රැස්වූයේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. සභාපතිවරයා හා සාමාජිකයන් විසින් තේරීම් කාරක සභාවේ කටයුතු මාධ්‍යයට අවාරණය කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව විවිධ පාර්ශ්ව නඟන චෝදනා සහ යෝජනා පිළිබඳව පළමුවෙන් කරුණු ඉදිරිපත් කෙරිණ. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිටියා.

    එහිදී අදහස් දැක්වූ නාලක ද සිල්වා මහතා....

    “2013-14 මම රාජ්‍ය බුද්ධි සේවාවේ ත්‍රස්ත මර්දන කටයුතු බාර අංශය බාරයේ ඉන්න කොට අන්තවාදී සංවිධාන සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස් කරමින් සිටියා. එතකොට මේ සංවිධාන සම්බන්ධයෙන් දැනගැනීමට ලැබුණා. එතනදී මේ පුද්ගලයන් සම්බන්ධයෙන් අනාවරණය වුණා. ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස්කරන්න ආරම්භ කළා. එතකොට සහරාන් සම්බන්ධයෙන් දැනගන්නට ලැබිලා අපි ඒ සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු රැස්කර ගෙන ආවා. ඒ අන්තවාදය තිබුණට ප්‍රචණ්ඩ අන්තවාදයක් තිබුණේ නැහැ.

    ප්‍රචණ්ඩ අන්තවාදය ඇත්තම කියනවනම් ලංකාවේ මුස්ලිම් එකට අදාළව ආවේ බෝම්බ ප්‍රහාරයත් එක්කනේ. ඊට අමතරව දිගන සිදුවීම වගේ අපට ගන්න පුලුවන්. අන්තවාදය කියලා ගන්න පුලුවන්. ඒ අනුව තමයි හිටපු පොලිස්පති ඉලංගකෝන් මහත්තයාත්, පූජිත ජයසුන්දර මහත්තයත් කිව්වේ අපේ සිඅයිඩී එක හරහා කරන්න ඕනේ දේ කරන්න ත්‍රස්ත විමර්ශන කටයුතු සම්බන්ධව ඒ අනුව තමයි මම ඒ අඩිතාලම සිඅයිඩි එකෙන් දැම්මේ. සහරාන්ගේ කටයුතු සම්බන්ධයෙන් විමර්ශනය කරන කොට අපිට පෙනී ගිය එකත් තමයි අපි දවස ගානේ එයාගේ වෙබ් සයිඩ්, එයාගේ ෆේස් බුක්, මොනිටර් කරනවා දවස ගානේ. ඒකට වෙනම කණ්ඩායමක් යොමු කරලා, මෙයා සම්බන්ධයෙන් අපට පෙනී ගියා මෙයා ප්‍රචණ්ඩ අන්තවාදය කරා යනවා කියලා. අපි ගාව තිබ්බ සියලුම අන්තර් ජාල කටයුතු පදනම් කරගනිමින් ගරු අධිකරණයට කරුණු වාර්තා කළා. අපි සහරාන්ව හොයන්න ගත්තම සහරාන් ප්‍රදේශ කිහිපයකම සිටියේ නැහැ. නැගෙනහිර හිටියෙත් නැහැ. අපි අනුමාන කළා මෙයා රට පැනලද කියලා.

    ඒ අනුව තමයි ඕපන් වොරන්ට්එක අරගත්තේ ඉන්ටර්පෝල් එකෙන් විමසීම් කරලා ඊළඟ ක්‍රමවේදවලට යන්න. එතනින් තමයි ඉතුරු ගමන ආරම්භ කළේ අපි. මම පොලිස්පතිවරයාට මේක හැම සති වාර්තාවකම යවනවා. පොලිස්පතිතුමා කිව්වා මේක දිගටම කරගෙන යන්න කියලා. සහරාන් ෆේස් බුක් එකට වීඩියෝවක් යොමු කරලා තියෙනවානම් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නම් අපි ඒක පොලිස්පතිතුමාට යවනවා. පොලිස්පතිතුමාට දැනුවත් කරන්න.
    ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පොලිස්පතිතුමා යටතේ තිබුණේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනවනම් එවෙලෙම පොලිස්පතිතුමා දැනුවත් කරනවා. එහෙම නැත්නම් හැම සඳුදාම අපි දැනුවත් කරනවා. මෙයා අපිට කරදරයක් වෙනවා, ඒ ගැන අපි අවධානයෙන් ඉන්න ඕනේ එතකොට එයාව අත්අඩංගුවට ගන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ සංවිධාන තහනම් කරන්න ඕනේ. 2017 ඒ සංවිධාන තහනම් කරන්න මම ක්‍රියාමාර්ග ගත්තා. මට තේරුණා මෙයා තරුණ මුස්ලිම් ප්‍රජාව ප්‍රචණ්ඩත්වයට අරගෙන යනවා කියලා. “ යැයි නාලක ද සිල්වා මහතා පැවසීය.

    Latest News