අගමැති - මධ්‍යස්ථ දෙමළ ජනතාව ඈත් කළ පරිදි මුස්ලිම් ජනතාව ඈත් නොකිරිම සැමගේ වගකීමක්

ජූනි 02, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සතියකට පසු රටේ තැන තැන සංවිධානාත්මකව ජාතිවාදී ගැටුම් ඇති කිරීමට එක්තරා කණ්ඩායමක් උත්සාහ කළ බවත් එවැනි ගැටුම්වලින් ජයලබන්නේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන්  බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසයි.

     යාපනය නගර සභා ක්‍රීඩාපිටියේදී අද (02) දින පැවැති සමෘද්ධි සහනාධාර බෙදාදීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    තවදුරටත් අදහස් දැක්වු ඔහු කියා සිටියේ ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා වෙහෙසෙන ආරක්‍ෂක අංශවල අවධානය වෙනතකට යොමු කිරීම මේ කණ්ඩායම්වල අරමුණ බවයි. ඒනිසා එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවලට එරෙහිව ත්‍රස්තවාදී ක්‍රියාවල නියැලෙන්නන්ට සමානව නීතිය ක්‍රියාත්මක කරන බවත්, දඬුවම් ලබාදෙන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.1983 ජූලි කලබල මධ්‍යස්ථ දෙමළ ජනතාව ඈත්වීමට හේතුවුණු බව පෙන්වාදුන් අගමැතිවරයා මුස්ලිම් ජනතාව සම්බන්ධයෙන් ද ඒ වරද නැවත සිදු නොවීමට වගබලා ගැනීම සියලූදෙනාගේම වගකීමක් බව ද පැවසීය.

    යාපනය දිස්ත්‍රික්කයේ මෙවර සමෘද්ධි හිමිකම් ලැබූ සංඛ්‍යාව 23,011 වන අතර, ඉන් 5000 කට අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී සංකේතාත්මකව සමෘද්ධි හිමිකම් පත් පිරිනැමිණි. යාපනය දිස්ත්‍රික්කයේ සමස්ථ සමෘද්ධි හිමිකම් ලාභීන්ගේ සංඛ්‍යාව 76,289 ක් වේ.

    ‍මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය මංගල සමරවීර, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, ධර්මලිංගම් සිද්ධාර්ථන්, යාපනය මහනගර සභාවේ නාගරාධිපති එමානුවේල් ආනෝල්ඩ් යන මහත්වරුන් සහභාගි වුහ.

    Latest News