රෝග වැළැක්වීමේ වැඩසටහන් වඩා පුළුල් විය යුතුයි; ජනපති

ජූනි 02, 2019

    ප‍්‍රතිකාර අංශ ශක්තිමත් කිරීම වෙනුවෙන් වාර්ෂිකව අය-වැයෙන් විශාල මුදලක් වෙන් කරමින් එම අංශ ශක්තිමත් කර ඇති නමුත් රෝග වළක්වා ගැනීම සහ නිවාරණයට අදාළව ගෙන යන වැඩසටහන් ප‍්‍රමාණවත් මට්ටමක නොවන බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සමාරම්භක උලෙළ අමතමිනි.

    මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ හදිසි ප‍්‍රතිකාර සඳහා විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකතුවක් බිහිවීම ඉතා වැදගත් හා කාලෝචිත පියවරක් බවයි. වෛද්‍ය, හෙද සේවාවල විශාල පිරිසක් වාර්ෂිකව විදෙස් සේවා සඳහා පිටත්වයාම හේතුවෙන් මෙරට වෛද්‍ය හා හෙද සංඛ්‍යාව ජාතික අවශ්‍යතාවය සම්පූර්ණ කිරිමට ප‍්‍රමාණවත් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එම ගැටලූව කෙරෙහි ද සියලු දෙනාගේ කඩිනම් අවධානය යොමු වීමේ වැදගත්කම පැහැදිළි කළේය.

    හදිසි ප‍්‍රතිකාර විශේෂඥ වෛද්‍ය විද්‍යායතනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී 2013 වසරේ දී ආරම්භ කරන ලද අතර, මෙම විද්‍යායතනය මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිංගප්පූරුව, ඕස්ටේ‍්‍රලියාව ආදි රටවල රෝහල් හා අනුබද්ධ ව දැනට වැඩමුළු 300කට ආසන්න ප‍්‍රමාණයක් පවත්වා වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩලවලට විදෙස් පුහුණුව ලබාදිමට මූලික වී තිබේ.

    මෙම සංගමයේ මැදිහත්වීමෙන් 2016 දී හදිසි අනතුරු හා හදිසි ප‍්‍රතිකාර සඳහා වන ජාතික ප‍්‍රතිපත්තිය සැකසිණි. එමෙන් ම සිගරට් හා මධ්‍යසාර පනත බලාත්මක කිරීමට හවුල්වීම තුළින් හදිසි ප‍්‍රතිකාර ඒකකවලට යොමුවන හෘදයාබාධ, ආඝාතය, ශ්වසන රෝග, හදිසි අනතුරු ආදි බොහෝ රෝගී තත්ත්වයන්ට හේතුව වූ සිගරට් හා මත්ද්‍රව්‍ය වැළැක්වීමට දායකත්වය ද දක්වා තිබේ.

    හදිසි ප‍්‍රතිකාර විශේෂ වෛද්‍යවරුන්ගේ සේවාව අගයමින් 11 දෙනෙකු වෙත සම්මාන පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය. හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

    එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත හැනා සිංගර් මහත්මිය ද, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය චන්දි‍්‍රකා විජේරත්න, මහාචාර්ය කාලෝ ෆොන්සේකා, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය, හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඉන්දික ලැනරෝල් යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වතුන් සහ වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් රැසක් ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News