IS යළි මතුනොවීමට නව ක්‍රමයක් ගෙන ඒමට සුදානම්: අගමැති රනිල්

ජූනි 01, 2019

    අයි.එස් ත්‍රස්තවාදය යළි ශ්‍රී ලංකාවේ මතුවීමට ඉඩ නොදීම සඳහා ප්‍රති ත්‍රස්ත වැඩසටහන් සකස් කිරීම ආණ්ඩුවේ වගකීම බවත්, ඒ වගකීම නිසි අයුරින් දරමින් ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා අවශ්‍ය සියලූ පියවර ගැනීමට ක්‍රියාකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කරමින් මාතලේ සංඝමිත්තා විදුහලේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ අයි.එස්. ත්‍රස්තවාදයේ පදනම ජාතිවාදය බවයි.

    ඒ බව අවබෝධ කරගනිමින් ශ්‍රී ලංකා අනන්‍යතාවය පදනම් කොට ගත් ප්‍රතිත්‍රස්ත වැඩසටහන් හා ත්‍රස්තවාදය වැළැක්වීමේ සැලසුම් සකස් කළ යුතු බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය රාජ්‍ය සේවය ගමට ගෙන යෑමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර, ඉදිරියේදී දිස්ත්‍රික් මට්ටමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    එහි පළමු පියවර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) දින මාතලේ සංඝමිත්තා කාන්තා විද්‍යාලයේදී ආරම්භ වූ අතර, ඊට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු නිලධාරීන් පැමිණ එම දෙපාර්තමේන්තු හා අමාත්‍යාංශවලට අයත් මහජන සේවා ලබාදීමේ කාර්යාල විද්‍යාල භූමියේ ආරම්භ කර තිබිණි. ඒ කාර්යාල වෙත පැමිණි මාතලේ දිස්ත්‍රික් ජනතාවට සිය සේවා අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි විය.

    උප්පැන්න සහතික, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත් සකස් කර දීම ඇතුළු රාජ්‍ය සේවයෙන් ඉටු කරන මහජන සේවාවන් රැසක් ලබාගැනීමේ පහසුම් රාජ්‍ය සේවයේ ගමට වැඩසටහන යටතේ ඇති කර තිබිණි.

    එම උත්සවය අමතා තවදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ අයි.එස්. සංවිධානය වෙත පුද්ගලයන් එක්වීම වැළැක්වීම, ත්‍රස්ත ප්‍රහාර වැළැක්වීම හා යම් හෙයකින් ප්‍රහාරයක් සිදුව හොත් එයට මුහුණදීම යන අංශ තුන පිළිබඳවම සැලකිල්ල යොමු කළ යුතු බවය.

    ලෝකයේ නවීන තාක්ෂමණය භාවිත කරන ජාත්යලන්තර බුද්ධි අංශවල සහය සහ අත්දැකීම් බෙදාහදා ගැනීමට අප කටයුතු කළ බව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

    Last modified on සෙනසුරාදා, 01 ජූනි 2019 14:15

    Latest News