වෛද්‍ය සාෆිගේ විමර්ශනයට විවිධ පාර්ශවයන්ගෙන් බදා

මැයි 30, 2019

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය නිලධාරී ෂෙයිගු සිහාබ්දීන් මොහොමඩ් ෂාෆි මහතාට එරෙහි චෝදනා සොයන සය පුද්ගල විමර්ශන කමිටුවේ කටයුතු පවත්වාගෙන යාමට ඇතැම් පාර්ශ්වයගෙන් බලපෑම් එල්ලවන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    මෙම බදාවන් හේතුවෙන් විමර්ශන කාර්යන් අවසන් කිරීමට නොහැකි වී ඇති බව අමාත්‍යංශ ලේකම් වසන්තා පෙරේරා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    මෙම කමිටුවේ සාමාජිකයින් වෘත්තී විශේෂඥයින්ගෙන් සමන්විතවේ. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා කමිටු සභාපති වශයෙන් ද ශ්‍රී ලංකා ප්‍රසව හා නාරිවේද විශේෂඥ සංගමය නියෝජනය කරමින් ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය (විශ්‍රාමික) ලක්ෂ්මන් සේනානායක සහ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය යු.ඩී.පී රත්නසිරි යන මහත්වරුන් ද පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංජීව ගොඩකන්දගේ මහතා ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ එල්.ඒ බස්නායක මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී එස්.අයි ගුණවර්ධන මහතා කමිටුවේ සාමාජිකයින් වේ. 

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයක් සිදු කිරිමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ද දැනුම් දී ඇති බවත් සෞඛ්‍ය ලේකම් පවසයි.

    විමර්ශන වලදී වෛද්‍යවරයා වැරදිකරුවෙකු වුවහොත් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු සිය නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරයි. එසේ නොමැතිව වෛද්‍ය ෂාෆි මහතා මුදා ගැනීම සඳහා අමාත්‍යාංශය විසින් යෝජනා ඉදිරිපත් කර ඇති බවට විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය හරහා ගෙන ගිය ප්‍රචාරය අසත්‍ය හා පදනම් රහිත බවත් එය තරයේ හෙළා දකින බවත් ඔහු පෙන්වා දෙයි.

     

    Latest News