විල්පත්තු නඩුවේ තීන්දුව නවතියි: නැවත විභාගයට නව විනිසුරු මඩුල්ලක්

මැයි 28, 2019

    විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුළ තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් නැවත විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.

    විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපය තුළ සිදූකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශ කිරීමට විනිසුරු මහින්ද සමයවර්ධන මහතා අකැමැත්ත පළ කිරීම හේතුවෙන් එම පෙත්සම නැවත විභාග කිරීමට අභියාචනධිකරණ තීරණය කර තිබේ.

    පරිසර යුක්ති කේන්ද්‍රය මගින් ඉදිරිපත් කළ මෙම පෙත්සම මුලින්ම අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ඉදිරියේ විභාග කොට අවසන් කර තිබු අතර එහි තීන්දුව අගෝස්තු මස 6 වනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.

    එහෙත් එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විනිසුරු මහින්ද සමයවර්ධන මාහතා අකමැත්ත පළ කිරීම හේතුවෙන් එම නඩුව නැවත විභාග ලෙස අභියාචනාධිකරණයේ සභාපති වරයා නියම කර තිබේ.

    ඒ අනුව අදාළ පෙත්සම නැවත විභාගය සඳහා අද ජනක් ද සිල්වා සහ. නිශ්ශංක බන්දුල කරුනාරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර එහිදී එම පෙත්සමට අදාළ නැවත විභාගය ජුලි මස 31 දා පැවැත්වීමට නියම කර ඇත.

    පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම නඩුව 2015 වසරේ අභියාචනාධිකරණය හමුවේ ගොනු කෙරුණු අතර එමගින් සඳහන් කර තිබුණේ විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය එළි කොට ඒ තුල අනවසර ඉදිකිරීම් සිදුකිරීම හේතුවෙන් දැඩි පාරිසරික හානියක් සිදුව ඇති බවයි.

    එම නිසා අදාළ වනාන්තර එළි කිරීම නීති විරෝධී බවට තීන්දු කර දැනට සිදුකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා තිබිණි.

    එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ,අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 13:04

    Latest News