වෛද්‍ය සේයිගු ෂියාබ්ඩීන් එරෙහිව පරික්ෂණයක්: ශික්‍ෂණ රෝහලට පැමිණිලි 27 ක්

මැයි 27, 2019

    අත්අඩංගුවට ගත් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙනම පරීක්‍ෂණයක් සිදු කරන බව, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඒ සඳහා විද්වත් කමිටුවක් මේ වනවිටත් පත්කර තිබේ.

    “ වෙනමම අපි මණ්ඩලයක් පත්කරන්න කියලා මම කිව්වා හොඳ විද්වත් මණ්ඩලයක් පත්කරන්න කියලා මේ කතාවේ ඇත්ත, නැත්ත හොයන්න කියලා. මොකද ඉස්සෙල්ලා කිව්වා හාර දහසක් කියලා. ඊට පස්සේ ඒක අටදාහක් වුණා. වඳ සැත්කම් අඩුවෙලා ඒක සිසේරියන් වුණා. සිසේරියන් සැත්කමක් කරනකොට ශල්‍ය වෛද්‍යවරයෙක් ඉන්නවා. තවත් සහකාර වෛද්‍යවරයෙක් ඉන්නවා. නිර්වින්දක වෛද්‍යවරයා ඉන්නවා. හෙදියෝ කිහිප දෙනෙක් ඉන්නවා. උපස්ථායකයෝ ඉන්නවා. කම්කරුවේ ඉන්නවා. මේ සියලුම දෙනා ශල්‍යාගාරයක් තුළ ඉඳගෙන මේක තනියෙන් කෙනෙකුට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. අපි ඉඩ දෙමු විද්වතුන්ට ඒ සියලු පරීක්ෂණවල ඇත්ත, නැත්ත හොයන්න කියලා. ඒකේ යම්කිසි වරදක් තියෙනවනම් ඔහුට විරුද්ධව රටේ නීතිය තුළත්, අපේ අමාත්‍යාංශයේ නීතිය තුළත් අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා“ යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

    අදාළ වෛද්‍යවරයාට එරෙහිව කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත දැනට පැමිණිලි 27ක් ලැබී තිබේ. එම වෛද්‍යවරයාගෙන් සිදුකරගත් සිසේරියන් සැත්කම පිලිබඳ සැකයක් පවතින්නේ නම්, පැමිණිලි කිරීම සඳහා කුරුණෑගල මහ රෝහලේ වෙනම කාර්යාලයක් පිහිටුවා තිබේ. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද අද කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක එක්වූහ.

    Last modified on සදුදා, 27 මැයි 2019 20:33

    Latest News