ජාති-ආගම් බෙදුණු පාසල් ඉවතට.....පොදු පාසල් ක්‍රමයක් ඉදිරියේදී

මැයි 22, 2019

    ශ්‍රී ලාංකීය අනන්‍යතාවට අනුකූලව මෙරට අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යායුතු බව හා ජාති-ආගම් ලෙස බෙදුණු පාසල් වෙනුවට, පොදු පාසල් ක්‍රමයක් ඇති කළ යුතු බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අරලියගහ මන්දිරයේ අද පැවති උත්සවයකදී ඔහු ඒ පිලිබඳ අදහස් පළ කළා.

    ජාතික ශික්‍ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ 2012/2014,2013/2015 හා 2014/ 2016 යන කණ්ඩායම්වලට අයත් විද්‍යා පීඨ 05ක ශික්‍ෂණලාභීන් 2,363 දෙනෙකුට අද ඩිප්ලෝමා සහතිකපත් පිරිනැමිණ. උත්සවය පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ද විද්‍යා පීඨ ආචාර්යවරුන් ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්වූහ.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....

    “අපේ පාසල් ක්‍රමය ආගම්, භාෂාව අනුව වෙන් කරන්නේ නැතුව යළිත් පොදු පාසල් ක්‍රමයක් ලංකාවට ඇති කරන්නැයි එතුමට බාරදීලා තියෙන කාර්යය. අපි නිදහස ලැබුව කාලෙදී ප්‍රථම අගමැති ඩී.එස්.සේනානායක මැතිතුමා කිව්වා අපි දැන් ශ්‍රී ලාංකිකයෝ. සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත්, බර්ගර් වුණත් මේ අපේ රට, මේ අපේ මාතෘභූමිය, හැම එක්කෙනාටම පොදු හැඟීමක් තිබුණා, හැම එක්කෙනාටම පොදු පාසල් ක්‍රමයක් තිබුණා. 70 දශකයේ ඉඳන් මේ ක්‍රමය වෙනස් වෙන්න පටන් ගත්තා. ආගම අනුව බෙදුවා, අපි ජාතිය අනුව බෙදුවා, ඒකේ පළමුවැනි විපාකය ආවේ 1983 කෝලාහල අරගෙන ඊට පස්සේ එල්ටීටීඊ සංවිධානයේ බිහිවෙන්න. ඒ වගේම අපි තවත් අභියෝගයක් මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම නොමඟ ගිය අයිඑස් අයිඑස් අදහන මුස්ලිම් ස්වල්ප දෙනෙක් නිසා මේ රටේ යළිත් බෝම්බ පිපිරීම් විතරක් නොවෙයි අපේ ජාතික සමඟිය. අපි තීරණය කළා ඉරිදා දහම් පාසල් හැර ආගමික පාසල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කරන්න. මද්‍රසා අධ්‍යාපනයටත් ඒ වගේම මණ්ඩලයක් ඇති කරන්න. පාලනය කරන්න ඒ මද්‍රසා අධ්‍යාපනය අමාත්‍යාංශය යටතේ කරන්න. ආගමික අධ්‍යාපනයත් මේ යටතේ කරන්න. ජාත්‍යන්තර පාසල් අද කොහෙවත් නැහැ හැමතැනම පාවෙනවා. ඒ නිසා ඒක ලියාපදිංචි කරලා එහි විෂය මාලාව පාලනය කරන්න බලය අධ්‍යාපන අමාත්‍යාංශය ලබාගන්න තියෙනවා. ශ්‍රී ලංකා අනන්‍යතාවය අපේ රාමුව තුළ අපේ අධ්‍යාපනය ක්‍රමය ඉදිරියට ගෙන යමු කියලා මම ප්‍රකාශ කරනවා“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    Latest News