වව්නියාව සිට බෙලිඅත්ත බලා ධාවනය කර යළි බෙලිඅත්තෙන් පස්වරු 4.25ට මාතර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ රජරට රැජිනි දුම්රිය මෙලෙස බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අනතුරට ලක්ව ඇත.
රජරට රැජිනි දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ යළි පස්වරු 4.25ට ගමන් ආරම්භ කිරීම සඳහා දුම්රිය එන්ජිම සවිකිරීමට යාමේදී අනතුර සිදුව තිබේ. දුම්රිය එන්ජිම පසුපසට ධාවනය කිරීමේදී වේගයෙන් පැමිණ ඉදිරිපස තුන්වන පන්තියේ මැදිරියෙහි ගැටී ඇති අතර එම මැදිරිය තල්ලු වී ගොස් දෙවැනි පන්තියේ මැදිරියක ගැටී ඇත. මේ නිසා තුන්වන පන්තියේ මැදිරියෙහි ඉදිරිපස කොටස සහ දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව තිබිණි.
දුම්රිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අද පස්වරුවේම අළුත්වැඩියා කටයුතු ආරම්භ කෙරිණ. එන්ජිමෙහි පාපුවරුව සහ මැදිරියෙහි පාපුවරුවක් ගැලවී තිබූ අතර මැදිරිය සහ එන්ජිම සවිකරන ස්ථානයට දැඩි හානි සිදුව තිබිණි. අනතුර හේතුවෙන් දුම්රිය එන්ජිමෙහි ඉන්ධන ටැංකිවලටද හානි සිදුව ඇත. දුම්රියෙහි ඉදිරිපස මැදිරිය වේදිකාවෙහි වැදී තිබීම නිසා දුම්රිය වේදිකාවටද හානි සිදුව තිබූ ආකාරය දක්නට ලැබිණි.