ජීවන වියදම ඉහළ ගිය සාධක සුව ඇමැති පෙන්වා දෙයි

මැයි 19, 2019

    ජීවන වියදම් සාධක වන කෑමබීම, ඇදුම් පැලදුම්වලට වඩා දුරකථන, රථවාහන, මිලදි ගැනීම නිසා ජීවන වියදම ඉහළ ගොස් තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

    “සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති පළමුව වැඩවර්ජන, දෙවනුව සාකච්ඡා කරනවා. වෙනත් අමාත්‍යාංශවල වෘත්තීය සමිති පළමුව සාකච්ඡා, දෙවනුව වැඩවර්ජන සිදු කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩවර්ජන හේතුවෙන් පීඩාවට පත්වන්නේ අහිංසක රෝගීන්. රෝගීන් මැරුණාම වැඩවර්ජනය සාර්ථකයි කියනවා.” නමුත් පවතින වෘත්තීය ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

    අතුරු වෛද්‍ය සේවාවේ විවිධ තනතුරු සදහා නව පත්වීම්ලාභීන් 140 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට පසුගියදා එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ දී මෙම පත්වීම් උත්සවය පැවැත්විනි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෘත්තීය සමිති ඉල්ලීම් බොහොමයක් ඉටු කිරීමට මම පියවර ගෙන තිබෙනවා. ඇතැම් ඉල්ලීම් ඉටු කිරීමට අමාත්‍ය මණ්ඩලය සමග සාකච්ඡා කර පියවර ගත්තා. වත්මන් රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 කින් ඉහළ නැංවූවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින්ට තවත් රුපියල් 3000 ක වැටප් වැඩිවීමක් හිමි වුනා. මෙම සියලු වැටුප් වැඩිවීම් ලබාගෙන තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩවර්ජන දියත් කරන්නේ. වර්තමානයේ ජීවන වියදම වැඩියි කියා චෝදනාවක් එල්ලවෙනවා. නමුත් ජීවන වියදම් සාධක වන කෑමබීම, ඇදුම් පැලදුම් වලට වඩා දුරකථන, රථවාහන, මිලදි ගැනීම නිසා ජීවන වියදම ඉහළ ගොස් තිබෙනවා.”

    “සෞඛ්‍ය සේවකයින්ට විවිධ දීමනා සමග හොද වැටුපක් ලැබෙනවා. නවීන උපකරණ සෑම රෝහලකටම ලබාදී ඇති අතර, ඉදිරියේ දී තවත් නවීන උපකරණ ලබාදෙනවා. දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ දී ඖෂධ 216 ක හිගයක් ඇති වුනා. මම යළි සෞඛ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් පසු අවශ්‍ය ඖෂධ ගුවනින් ගෙනඑනු ලැබුවා. ඖෂධ හිගයේ බලපෑම තවමත් තිබෙනවා. ඖෂධ නොමැතිවීම නිසා රෝගීන්ට අපහසුතා ඇති වුනා. නමුත් වත්මන් රජය ජාතික අයවැයෙන් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. මම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වැටුප් සහ දිමනා ගැනම නොබලා රාජකාරී ඉටු කරන්න. රෝගීන්ට ප්‍රතිකාර කරන්න. නැතිනම් එය පාපකර්මයක්. සියලුම දේවල් නොමිලේ ලබාදෙන රටක් ශ්‍රී ලංකාව. තවත් රටක් වන්නේ කියුබාව. සමාජවාදී රටවල් වලත් නොමිලේ ලබාදෙන්නේ නැහැ. සෞඛ්‍ය සංවර්ධන අරමුදලෙන් දුප්පත් දරුවන්ගේ සැත්කම් සිදු කිරිමට ආධාර ලබාදෙනවා. එම දරුවන්ගේ දෙමාපියන් බොරු කරන්නේ නැහැ. දරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට දෙමාපියන් කැප වෙනවා. නීති රීති සහ ෆයිල් වලට යටත් වෙලා අහිංසක රෝගීන්ගේ ජීවිත බේරා ගන්න බැහැ. පළමුව රෝගී ජීවිතය ආරක්ෂා කර ගත යුතුයි. නීති රීති දෙවනුව කථා කරමු.”

    මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ධ ජනරාල් විශේෂඥ අනිල් ජාසිංහ, අතිරේක ලේකම් සුනිල් ද අල්විස් යන මහත්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් රැසක් එක්ව සිටියහ.

    Latest News