ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය කළ යුතු බව අගමැති පවසයි (වීඩියෝ)

මැයි 18, 2019

    ථෙරවාදී බුදුදහම නිසා මෙරට ශිෂ්ටාචාරය මෙන්ම, සිංහල ජාතිය බිහි වූ බවත්, ශ්‍රී ලංකාව ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය කළ යුතු බවත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රාජ්‍ය වෙසක් උත්සවයට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. මෙවර රාජ්‍ය වෙසක් උත්සවය ගාල්ල, තෙල්වත්ත පුරාණ තොටගමු රත්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විණ. ඒ නිමිත්තෙන් සංවිධාන කෙරුණු පිංකම් රැසක් අද දවස පුරා පැවැත්විණ. රාජ්‍ය වෙසක් උත්සවයේ දෙවන හා අවසන් දිනය අදයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ පිංකම්වලට එක්විය. ආගමික වතාවත්වලින් පසු අග්‍රාමාත්‍යතුමා විහාරස්ථානයේ සර්වඥධාතු වැඳපුදා ගැනීමට ද එක්විය. තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පරිහරණය කළ භාණ්ඩ රැසක් ද ප්‍රදර්ශනයට එක්කර තිබිණ. මහා සංඝරත්නය සහ මැති-ඇමතිවරුන් ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.


    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...
    “බුදුන් වහන්සේගේ ධර්මය අපි ආරක්‍ෂා කරනවා. තෙරුන් වහන්සේලාගේ ථෙරවාදී ධර්මය නිසා අපේ රටේ ශිෂ්ටාචාරය බිහිවුණා. සිංහල ජාතිය බිහිවුණා. අන්න ඒ විශේෂත්වය නිසා තමයි අද අපි මෙතන ඉන්නේ. සිංහලයන් හැටියට මෙතන්ට ඇවිල්ලා ශ්‍රී ලාංකිකයන්ටත් ඒ වගේම බලපාලා තියෙනවා. එහෙනම් අපේ සමාජය බිහිවුණේ, අපේ රට බිහිවුණේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පදනම් කරගෙන. අපේ ව්‍යවස්ථාවෙත් තියෙනවා බුදුන් වහන්සේගේ ධර්මය මුලික ස්ථානය ප්‍රමුඛස්ථානය දිය යුතුයි කියලා. ඒ අනුව තමයි අපි අපේ සමාජයේ වැඩකටයුතු කරන ගමන් හැම එක්කෙනාගෙම ආගමික නිදහස තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට වැදගත් නිසා ඒ ධර්මය ආරක්‍ෂා කරලා ඒ ශුද්ධ වූ ධර්මය කුමක් ද කියලා දැනගන්න ඕනේ. එතන තමයි අපේ අනාගතය රඳා පවතින්නේ. ඇත්ත වශයෙන්ම වීදාගම මෛත්‍රීය ස්වාමීන් වහන්සේ ලෝවැඩ සඟරාව වැනි කෘතීන්ගෙනුත්, උන් වහන්සේගේ ගෝල ස්වාමීන් වහන්සේවන අපේ රාහුල ස්වාමීන් වහන්සේ නිසා තමයි අද දන්න සිංහල සාහිත්‍ය බිහිවෙලා තියෙන්නේ. තොටගමුව පන්සල නොතිබුණානම්, ඊට සම්බන්ධ වීදාගම පන්සල නොතිබුණානම් මේවා නැතිවෙනවා. කෝට්ටේ යුගයේ වැදගත් විහාරස්ථාන දෙකක් තමයි මේ තොටගමුව විහාරස්ථානයත්, ඒ වගේම වීදාගම විහාරස්ථානයත්. මේ දෙකම පෘතුගීසින් නැතිකළා. ගොඩනැගිලි නැති කරන්න පුලුවන්. අපේ බුද්ධ රූප නැති කරන්න පුලුවන්. බෝගස් කපන්න පුලුවන්. ඒත් අපේ හිතේ තියෙන දේ, මනසේ තියෙන දේ නැතිකරන්න බැහැ. යළිත් අද ලංකාවේ අපේ තෙරුන් වහන්සේලාගේ ධර්මය දියුණු වුණේ ඒක ඉදිරියට ගෙන යන්න හික්කඩුව ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කරපු දේවල්. අපි විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ අද ථෙරවාදය බුද්ධාගමේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාකරන්න ඕනේ“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

     

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 22:51

    Latest News