වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි (වීඩියෝ)

මැයි 18, 2019

    සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය,බෝසතාණන්වහන්සේගේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනාර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක පොහොය අදයි.

    ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් සම්බුදු තෙමඟුල සමරමින් විවිධ පිංකම්වල නිරතව සිටියි. බුදුරජාණන් වහන්සේ නමක්, ලොව පහළ වීම කල්ප ගණනාවකින් සිදුවන දුර්ලභ හා උත්තරීතර සිද්ධියක් බව, බෞද්ධ දර්ශනයේ පිළිගැනීමයි. කිඹුල්වත්පුර ලුම්බිණි සල් උයනේ දී වෙසක් පොහෝ දින උත්පත්තිය ලැබූ සිදුහත් කුමරුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගනිමින් සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ ද අද වැනි දිනකයි.

    උන්වහන්සේ මිනිස් වාර්ගයාට සසර දුක පහදා දී ඉන් මිදීමේ නිර්වාණ මාර්ගය පෙන්වා දුන්නා. බෝසතාණන් වහන්සේ දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබීම බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, ශාක්‍යයන්ගේ මානය බිඳලීමට යමාමහ පෙළහර පෑම, තුන්වැනි ලංකා ගමනය හා සමනොළ ගිරි සිරස මත සිරිපා සළකුණ සටහන් කිරීම වෙසක් පොහොය දින හා බැඳුණු තවත් වැදගත් සිදුවීම් කිහිපයක්.

    පන්සාළිස්වසක් ශ්‍රී සද්ධර්මය ලොවට දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල් උයනේ දී පරිනාර්වාණයට පත් වූයේ ද අද වැනි පොහෝ දිනකයි. බුදු දහමින් පෝෂණය වූ ලක්වැසියන් අතීත රජ දවසේ සිට ශ්‍රාද්ධා පෙරදැරිව වෛශාක්‍ය මංගල්‍යය උත්සවශ්‍රීයෙන් සමරයි.

    Last modified on සෙනසුරාදා, 18 මැයි 2019 22:28

    Latest News