වෙසක් පොහොයට අවශ්‍ය පුර්ණ සහයෝගය රජයෙන්.... අගමැති රනිල්

මැයි 13, 2019

    වෙසක් පොහොය වෙනුවෙන් මෙරට සියලූ විහාරස්ථානවල ප්‍රතිපත්ති පූජා පැවැත්විය යුතු බවට මහානායක හිමිපාණන් වහන්සේලා ගෙන තිබෙන තීරණය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය පුර්ණ සහයෝගය ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    එම වැඩකටයුතු පහසුකරවීම සඳහා ආරක්ෂක අංශ මෙන්ම ආණ්ඩුවේ යාන්ත්‍රණ යොදවන බව අද (13) අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදී පැවසීය. පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිය පිළිබඳව ලැබුණු තොරතුරු අනුව ක්‍රියාකොට එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රජය හා දේශපාලඥයන් කෙරෙහි ජනතාව තුල පැවති විශ්වාසය බිඳ වැටී ඇති බවත් ඒ විශ්වාසය නොපමාව යළි ගොඩනගා රට ඉදිරියට ගෙන යා යුතු බවත් වික්‍රමසිංහ මහතා පැවසීය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද (13) දින අරලියගහ මන්දිරයේ පැවති ක්‍රීඩා පුහුණු නිලධාරීන් 3888 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයේදිය.

    රනිල් වික්‍රමසිංහ මහතා “පාසල්වල මෙන්ම අනෙකුත් අධ්‍යාපන ආයතනවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් කලාව, ක්‍රීඩාව වැනි බාහිර අංශ වෙත යොදා ගැනීමෙන් ඔවුන් අන්තවාදයට යෑමට ඇති අවස්ථා මඟහරවා ගත හැකියි. අපි පාසල් ගිය කාලයේ අන්තවාදී අදහස් වෙත කාලය යොදවන්න වෙලාවක් තිබුණේ නැහැ. අද පත්වීම් ලබන ඔබට වගකීමක් තිබෙනවා. අනාගත පරපුර අන්තවාදයට තල්ලූ නොවී වලක්වා ගැනීමට ඒ සඳහා වැඩි වශයෙන් දරුවන් ක්‍රීඩා යොමු කරවා ගත යුතුයි.

    පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ පිපිරීමේ සිද්ධිය පිළිබඳ ලැබුණු තොරතුරු අනුව ක්‍රියාකොට එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් රජය කෙරෙහි හා දේශපාලඥයන් කෙරෙහි ජනතාව තුල පැවති විශ්වාසය කඩා වැටී තිබෙනවා. කුමක්ද සිදු වන්නේ කියා අද සිතාගත නොහැකිව අද සමාජය අතරමං වෙලා වගේ බලා සිටිනවා. කඩා වැටුණු මේ ජනතා විශ්වාසය යලි අපි ගොඩනැගිය යුතුයි. පසුගිය දිනවල මේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසී සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා. ඒ අනුව වෙසක් පෝය දිනය හා ඒ කාලය තුල සිදු කරන වැඩකටයුතු පිළිබඳව උන් වහන්සේලාට තීරණයක් ගන්නා ලෙස අප උන් වහන්සේලාගෙන් ඉල්ලා සිටියා.

    ඒ අනුව ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් වෙසක් උත්සවය සැමරිය යුතු බවට මහානායක ස්වාමීන් වහන්සේලා තීරණය කර ඒ බව දැනුම් දී තිබෙනවා. මහානායක ස්වාමීන් වහන්සේලාගේ මේ තීරණය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට ආණ්ඩුව තීරණය කළා. ආණ්ඩුවේ යාන්ත්‍රණයත් ඊට අයත් ආරක්ෂක ක්ෂේත්‍රයත් ඒ සඳහා යොදවා ඊට අදාල වැඩකටයුතු අප සිදු කරනවා.
    වෙසක් පොහොය කඩා කප්පල් කිරීමට හෝ නවතා දැමීමට පෘතුගීසීන්ටවත් නොහැකි වුණා. මේ අනුව ජනතාව වෙහෙර විහාරස්ථාන වෙත පැමිණ ආගමික වැඩකටයුතුවල නියලෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

    මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යම අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන හා ආපදා කළමණාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග, නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රාවුෆ් හකීම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්ය, විජයකලා මහේෂ්වරන්, ඛණිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හෙක්ටර් අප්පුහාමි, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ. ඒ. විජේතුංග, වඩිවෙල් සුරේෂ්, පිරිසක් සහභාගි වී සිටියහ.

    Last modified on සදුදා, 13 මැයි 2019 20:19

    Latest News