රට වෙනුවෙන් වූ ජනපතිගේ උත්සාහය මහනායක හිමිවරුන්ගේ පැසසුමට

මැයි 13, 2019

    ජාතික ආරක්ෂක වැඩපිළිවෙළ වෙනුවෙන් වූ උන්වහන්සේලාගේ අදහස් සහ යෝජනා ද ජනපතිට ඉදිරිපත් කෙරේ 

    පසුගියදා මහනුවර ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදාගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉන් අනතුරුව මල්වතු අස්ගිරි මහානායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය බැහැ දැක රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳව කරුණු පැහැදිලි කළේය.

    පළමුව මල්වතු මහා විහාරය වෙත ගිය ජනාධිපතිතුමා ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නායක ස්වාමින්වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිතර විය.

    එහි දී රටේ වත්මන් ආරක්ෂක වැඩපිළිවෙළ සහ අප්‍රේල් 21 වනදා සිදුවීම සමඟ රටේ ජනතාව අතර බිඳ වැටුණු විශ්වාසය යළි ගොඩනැගිමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා මහානායක හිමිපාණන් දැනුවත් කළේය.

    රට තුළ ජාතික සමඟිය තහවුරු කර ගැනීම මෙන්ම සැමට පොදු නීතියක් ක්‍රියාත්මක වීමේ වැදගත්කම මෙහි දී මල්වතු මහානායක හිමිපාණන් වහන්සේ පෙන්වා දුන් අතර ජාතින් සහ ආගමිකයන් වශයෙන් සියලුදෙනා එක්ව සාකච්ඡා කරමින් රට තුළ සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව ද අනුශාසනා කළහ.

    වෙසක් සැමරුම සහ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව ද ජනාධිපතිතුමා මල්වතු මහානායක හිමිපාණන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.

    අනතුරුව ජනාධිපතිතුමා අස්ගිරි මහා විහාරය වෙත ගොස් ස්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන නායක ස්වාමින්වහන්සේ බැහැදැකීය.

    රට වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ උන්වහන්සේගේ ද පැසසුමට ලක් වූ අතර ඒ සඳහා පූර්ණ ආශිර්වාදය පළ කෙරිණි.

    රටේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ ජන ජීවිතය යථාවත් කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව උන්වහන්සේ ද දැනුවත් කළ ජනාධිපතිතුමා යළිත් ගැටුම්කාරි තත්ත්වයකට රට ඇඳ දැමීමට කිසිවෙකුට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය සහ සංහිඳියාව ගොඩනැගිමට තමන් දරන උත්සාහය පිළිබඳව ද පැහැදිළි කළේය.

    අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේ, ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර නායක පූජ්‍ය නාරන්පනාවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ සහ අස්ගිරි විහාරයීය කාරක සංඝ සභික පූජ්‍ය කුඹුක්කන්දන්වල පුඤ්ඤරතන හිමිපාණන් වහන්සේ ද එම අවස්ථාවට වැඩම කර සිටියහ.

    ඉන් අනතුරුව ජනාධිපතිතුමා මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ ද බැහැදක පිළිසඳරක නිරත විය.

    රටේ වත්මන් ආරක්ෂක වැඩපිළිවෙළ මෙන්ම පාසල් දරුවන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්ෂාවත්, පොදු මහජනතාව ගැවසෙන ස්ථානවල ආරක්ෂාවත් වෙනුවෙන් රජය ක්‍රියාවට නංවා ඇති වැඩපිළිවෙළ පිළිබඳවත් ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟ සාකච්ඡා කළේය.

    එමෙන්ම අද සමාජය තුළ දක්නට ලැබෙන අනවශ්‍ය බිය වැද්දීම් සහ අසත්‍ය ප්‍රචාර වළක්වා ගනිමින් සාමය ස්ථාපිත කිරීමට සියලුදෙනා ඒකරාශී කර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

    අනතුරුව උන්වහන්සේ ද සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    ඉන් අනතුරුව රාමඤ්ඤ මහානිකායේ මහානායක පූජ්‍ය නාපාන පේමසිරි නායක ස්වාමින්වහන්සේ වැඩ වෙසෙන මහනුවර, මැණික්හින්න, හුරීකඩුව ශ්‍රී විද්‍යාසාගර විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟ ද පිළිසඳරකට එක් විය.

    රටත්, ජනතාවත් ආරක්ෂා කර ගනිමින් ත්‍රස්තවාදය මැඩලීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ උන්වහන්සේගේ ද පැසසුමට ලක් වූ අතර එම වැඩපිළිවෙළ වෙනුවෙන් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

    Latest News