රද්දොලුගමින්, සංග්‍රාමික ඇඳුම් තොගයක් අත්අඩංගුවට

මැයි 08, 2019

    ජා-ඇල, රද්දොළුගම, මුතුවාඩිය ප්‍රදේශයේදී ලොරි රථයක තිබී ගුවන් හමුදා සංග්‍රාමික නිල ඇඳුමට සමාන කලිසම් 1,116ක් සොයා ගැණින.

    පොලිසිය හා ගුවන් හමුදාව ඒකාබද්ධව පවත්වාගෙන ගිය මාර්ග බාධකයකදී අද අලුයම 2.30ට පමණ ලොරිය පරීක්‍ෂාවට ලක් කර තිබේ. එහි රියදුරා සහ සහයකයා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී හෙලි වී ඇත්තේ වලපනේ සිට ඇඳුම් තොගය සේදීම පිණිස රැගෙන ආ බවයි.

    මේ අතර, පොලිසිය කළ දැනුම්දීම අනුව, ඉකුත් පැය 48 තුළදී කඩු 28ක්, රම්බෝ පිහියක් සහ වායු රයිෆල් 3ක් සීදුව පොලිසිය වෙත බාරදී තිබේ. වැලිමඩ, හපුතලේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේ වන වගාවක තිබී බ්‍රව්නින් වර්ගයේ පිස්තෝලයක් අද පෙරවරුවේ සොයා ගෙන තිබේ. මාර්ගයේ ගමන් ගත් අයෙකු පිස්තෝලය දැක වැලිමඩ පොලිසියට දැනුම් දීමෙන් පසු එය පොලිස් බාරයට ගැණින.

    විවිධ වර්ගයේ ගිනි අවි සඳහා යොදා ගන්නා ජීව උණ්ඩ දහසකට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු ඊයේ අත්අඩංගුවට ගැණින. ඒ, නවගමුව පොලිසිය විසින්. ජීව උණ්ඩ තොගය සොයා ගැනුණේ, නවගමුව පොලිසිය ලද තොරතුරක් අනුව කඩුවෙල තුන්අඳහේන ප්‍රදේශයේදී. ටී-56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 207ක්, මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 649ක්, හිස් කොපු 101ක්, එම්.පී.එම්.ජී. උණ්ඩ 10ක් සහ මැගසින් දෙකක් හමුවුණේ සැකකරුගේ නිවසේ තිබියදී. ඔහු ගමන්ගත් යතුරු පැදිය පොලිස් බාරයට ගෙන තිබේ.

    මාතලේ වාරියපොළ ප්‍රදේශයේ බෝක්කුවක් අසළ දමා ගොස් තිබූ ටී-56 ගිනි අවියක් සහ ගැනසිනයක් සොයා ගෙන තිබේ. මේ අතර, පොලිස් මූලස්ථානය පසුගියදා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මාතලේ ප්‍රදේශයේ වෙළෙඳ සැල්වල තිබූ සංග්‍රාමික ඇඳුම්වලට සමාන ඇඟලුම් හා රෙදි තොගයක් මාතලේ පොලිසිය වෙත බාරදී තිබේ. ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ 30කට අධික බව වාර්තාවේ.

     

     

    Last modified on බදාදා, 08 මැයි 2019 20:38

    Latest News