පාස්කු බෝම්බ ප්‍රහාර: පොලිස්පතිට හා හිටපු ආරක්ෂක ලේකම්ට නොතිසි

මැයි 08, 2019

    බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් කොළඹ හා මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන හා තරු පන්තියේ හෝටල් වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීමට අපොහොසත්වීම තුළින් පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්ට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සම 21ක් වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කෙරිණ. 

    එහි වග උත්තරකාරුවන් ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙත නොතීසිය යැවීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවය නීතිඥවරයාට නියම කළේය.

    ප්‍රසන්න ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ගාමිණි අමරසේකර යන මහත්මීන් ගෙන් සමන්විත ව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව කැඳවනු ලැබුණ.

    මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචි සමන් නන්දන සිරිමාන්න නමැති පියෙකු විසින්. එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, විශේෂ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක සහ නීතිපතිවරයා නම් කර තිබේ. පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට පෙනී සිටීමක් නොකරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වරයා අද අධිකරණයට දන්වා සිටියේය.

    කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය තුළින් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආශිර්වාදය ලබාගැනීමට දේවස්ථානයට ගිය තම දියණිය සහ පුතා මිය ගිය බව පෙත්සම්කරුවෝ කියා සිටිති. මෙම ප්‍රහාරය පිළිබඳව බුද්ධි අංශය විසින් පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක බලධාරීන්ට කලින්ම දැනුවත් කර තිබූ බව පෙන්වා දෙන පෙත්සම්කරු ඒ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කැර තිබුණේ නම් මෙවැනි විනාශයන් වළක්වා ගැනීමට ඉඩ තිබූ බවද කියා සිටියා.

    වග උත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිදූවූ මනූෂ්‍ය ඝාතන හා තුවාල කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන මෙන් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    Last modified on බදාදා, 08 මැයි 2019 12:43

    Latest News