ජාතික ආරක්‍ෂාව තහවුරුයි..... සංචාරකයින්ට පැනවු බාධා ඉවත් කරන්න... ජනපති ඉල්ලීමක් (වීඩියෝ)

මැයි 07, 2019

    ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී අත්දැකීමට මුහුණදීමෙන් පසු ශ‍්‍රී ලංකාව මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර ආරක්‍ෂක අංශවල සාර්ථක මෙහෙයුම් සමඟ ඉදිරි දින කිහිපය තුළ දී ත‍්‍රස්ත අභියෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් වනු ඇති බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ විදෙස් තානාපතිවරු, මහකොමසාරිස්වරු, එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු විදෙස් සංවිධාන නියෝජිතයන් සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ය. පසුගිය සති දෙක තුළ අපගේ ආරක්‍ෂක හමුදාව ඉතා සාර්ථක ලෙස ත‍්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් කි‍්‍රයාත්මක කළ අතර එම මෙහෙයුම් මෙන්ම ජාතික ආරක්‍ෂාවට අදාළව රජය ගත් තීන්දු තීරණ ද ඉතා සාර්ථක වී තිබෙන බව ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    එමෙන්ම මෙහිදී ජනාධිපතිතුමා සියලූ තානාපතිවරුන්ට ඉල්ලා සිටියේ ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව මේ වන විට මුළුමනින් තහවුරු කර තිබෙන බැවින් තම රටවල් විසින් චාරකයන්ට පනවා ඇති බාධාවන් ඉවත් කර නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට ඉඩ සලස්වන ලෙසයි.

    පාසල්, රජයේ ආයතන සහ ජනතාව ගැවසෙන ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය හා ති‍්‍රවිධ හමුදාව යොදවමින් මෙන් ම විශේෂ ආරක්ෂක කමිටු ද පිහිටුවමින් අදාළ ආරක්ෂක වැඩපිළිවෙළ දියත් කර තිබෙන අතර සංචාරකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ද විශේෂ වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක බව ජනාධිපතිතුමා කියා සිටියේය. 

    මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් අවධාරණය කළේ මේ රටේ සියලූ ජන කොටස්වලට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීමේ වගකීම තමා ඉටුකරන බවයි. සියලූ මුස්ලිම් ප‍්‍රජාව මෙම සිදුවීමට වගකිව යුතු නොවන අතර ඔවුන්ට නිදහසේ ජීවත්වීමට හැකි පරිසරයක් ගොඩනැඟීම මෙන්ම සියලූ ජන කොටස් අතර සංහිඳියාව ගොඩනැඟීමේ යාන්ත‍්‍රණය ආගමික නායකයන්ගේ මූලිකත්වයෙන් මේ වන විට කි‍්‍රයාත්මක බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    එමෙන් ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කටයුතුවල දී ප‍්‍රධාන අභියෝගයක් බවට සමාජ මාධ්‍ය පත්ව ඇති බවයි. ජාතිවාදය සහ ආගම්වාදය පැතිරවීමේ අරමුණින් යම් යම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ගෙන යන අසත්‍ය ප‍්‍රචාර රට තුළ සාමකාමී පරිසරයක් ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළට බාධා පමුණුවමින් සිටින බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

    මෙහිදී විදෙස් තානාපතිවරු අදහස් දක්වමින් කියා සිටියේ සමාජ මාධ්‍යවල මෙන්ම අනෙකුත් මාධ්‍යවල ප‍්‍රචාරය කෙරෙන ජනතාව බිය වැද්දීමේ ප‍්‍රකාශ වහාම නැවතීම වෙනුවෙන් රජය මැදිහත්විය යුතු බවයි.

    එමෙන් ම ශ‍්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද ඔවුන් නැඟු ප‍්‍රශ්නවලට මෙහිදී ආරක්ෂක අංශ ප‍්‍රධානීන් පිළිතුරු දෙනු ලැබීය. මේ අතර මෙම ත‍්‍රස්ත ප‍්‍රහාරයට ඉඩ සැලසුණු තත්ත්වයන් හා වගකීම් පැහැර හැරීම් පිළිබඳ සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගෙන් සමන්විතව පත් කළ විශේෂ පරීක්ෂණ කමිටුවේ දෙවන අතුරු වාර්තාව මේ වන විට තමා වෙත ලැබී තිබෙන බවත් එහි සඳහන් කරුණු අනුව ඉදිරි පියවර ගැනීමට එය හෙට නීතිපතිවරයාට ඉදිරිපත් කරන බවත්, තවත් සතියකින් එය ජනතාවට ද විවෘත කරන බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයත් සමඟ නැඟී සිටීමේ දී සියලූ මිත‍්‍ර රාජ්‍යයන් ශ‍්‍රී ලංකාවට දැක්වූ සහය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදය මර්දනයට අදාළව ලබාදුන් විශේෂඥ දැනුම සහ පුහුණු වැඩසටහන් පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීය.

    ශ‍්‍රී ලංකාවේ සිටින සරණාගතයන් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ලෝකයේ විවිධ රටවලින් පැමිණි සරණාගතයන් විශාල පිරිසක් මේවන විට මෙරට රැදී සිටින අතර, ශ‍්‍රී ලංකාව තුළ මතුව ඇති තත්ත්වය හේතුවෙන් ඔවුන් කඩිනම් වෙනත් රටවලට යැවීමට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ද තානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළේය. එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය එහිදී ප‍්‍රකාශ කළේ ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළීවෙළ මේ වන විට සැලසුම් කර තිබෙන බවයි.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී, ති‍්‍රවිධ හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු ද මීට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 07 මැයි 2019 21:22

    Latest News