විදේශගත වීමට ගෝඨාභයට අධිකරණයෙන් අවසර

මැයි 07, 2019

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අවසර ලබා දේ.

    ඒ මේ මස 15 වැනි දින සිට 19 වැනි දින දක්වායි.

    ඉකුත් රජය සමයේ හම්බන්තොට, මැදමුලන ප්‍රදේශයේ පිහිටි ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 34 කට ආසන්න රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි, චෝදනා එල්ල වී සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ මස 15 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලසීමාව තුළ විදේශ ගතවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (07) අවසර ලබා දේ.

    මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඉල්ලීමක් ඉදිරිපත් කරමින් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තම සේවාදායකයාට මේ මස 15 වැනි දින සිට 19 වැනි දින දක්වා කාලසීමාව තුළ සිංගප්පූරුවට යාමට අවශ්‍ය ඇති බව කියා සිටියේය.

    ඒ සඳහා දැනට අධිකරණය මගින් තම සේවාදායකයා වෙත පණවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන නියෝගයක් නිකුත් කරන මෙන් ද ජනාධිපති නීතිඥ සබ්රි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරු විසින් ඉල්ලා සිටින කාලසීමාව තුළ ඔහුට විදේශ ගත වීමට අවසර ලබාදුන් අතර දැනට අධිකරණය භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත මුදා හරින ලෙස ද නියම කළේය.

    Latest News