ජනපති ඓතිහාසික අවුකන රජමහා විහාරස්ථානයේ ආගමික වතාවත්වල

මැයි 05, 2019

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (05) ඓතිහාසික අවුකන රජමහා විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

    විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය එහි දී ආගමික වතාවත් සිදු කොට ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. අනතුරුව ජනාධිපතිතුමා අවුකන රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද සොයා බැලීය.

    මේ අතර පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ ඉදිකළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මහසෙන් රජතුමාගේ පිළිරුවක් විවෘත කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ සිදු කෙරිණි.

    ජනාධිපතිතුමා පළමුව මින්නේරිය දේවාලය වෙත ගොස් වන්දනා කටයුතුවලට සහභාගි විය. අනතුරුව මින්නේරිය වැව් බැම්ම මත ඉදි කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ මින්නේරිය දෙවියන් හෙවත් මහසෙන් රජතුමාගේ ප්‍රතිමාව විවෘත කිරීමට එක් විය.

    දහම් සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් මෙම ඉදිකිරීම් සිදු කෙරුණු අතර විවෘත කිරීමේ අවස්ථාවට ජයන්ති සිරිසේන මැතිණිය ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

     

     

     

    Latest News