සහරාන්ගේ සොයුරිය අත්අඩංගුවට...සල්ලිත් සොයා ගැණේ

මැයි 02, 2019

    ඉස්ලාමීය ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන් හෂීම්ගේ වැඩිමල් සහෝදරිය ඊයේ සවස මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    නව කාත්තන්කුඩි, ආලිම් වීදියේ පිහිටි ඇයගේ නිවසේ සිටියදීයි, සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙහොමඩ් කාසිම් මදනි නමැති ඇය 25 හැවිරිදි වියේ පසුවන්නීය. ඇයගේ නිවස පරීක්‍ෂා කිරීමේදී රුපියල් ලක්‍ෂ 20ක් වටිනා මුදලක් ද සොයා ගැනිමට පොලිසිය සමත්විය.

    මොණරාගල ජුම්මා පල්ලියේ තිබී සැකකටයුතු ලිපියක් සොයා ගැනීමට යුද හමුදාව සමත්වූහ. ඒ, පොලිසිය සමඟ අද පස්වරුවේ සිදු කළ මෙහෙයුමකදී. වසර 2කට පමණ පෙර පල්ලියට එවන ලද බව කියන එම ලිපියේ ආරක්‍ෂාව සඳහා කඩු කිණිසි තබා ගන්නා ලෙසත්, අනුරාධපුර ප්‍රදේශයේ පැවැත්වෙන ආගමික වැඩසටහනකට ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වන ලෙසත්, සඳහන්ව තිබූ බව, ආරක්‍ෂක අංශ පවසයි. තව ද සැකකටයුතු සංයුක්ත තැටි, රුපියල් ලක්‍ෂයක පමණක් මුදලක් සමඟ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගැණින. එම ස්ථානයට යාබද නිවසේ තිබී සැකකටයුතු කැබ් රථයක් හා සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.

    කුරුණෑගල, මලියදේව පිරිමි විද්‍යාලය අසල නිවසක තිබී ස්නයිෆර් අවියකට සවිකරණ දුර දක්නයක්, කඩුවක් සහ මන්නා පිහි දෙකක්, සොයා ගැණින. යුද හමුදාව සිදු කළ මෙහෙයුමේදී සැකකටයුතු කැසට් පට 16ක් ද සොයා ගෙන තිබේ.

    අලුත්ගම, දර්ගා නගරය, වැලිපිටිය ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව එක්ව අද සිදු කළ සෝදිසියකදී පුද්ගලයින් දෙදෙනෙකු සමඟ හැඳුනුම්පත් 20ක් සහ යතුරු පැදි දෙකක් අත්අඩංගුවට ගැණින. හැඳුනුම්පත් සමඟ අත්අඩංගුවට ගත් තැනැත්තා මඩකලපුව එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    මහනුවර, උඩුනුවර, වටදෙණිය මුස්ලිම් පල්ලිය අසල නිවසක තිබී ජීව බෝම්බයක්, ජීව උණ්ඩ 15ක් සොයා ගැණින. වෙලම්බොඩ නගර ආසන්නයේ නිවසකින් රාත්‍රී දුර දක්නයක් සහ තවුහීද් ජමාත් සංවිධානයට අයත් වීඩියෝ පට, පොත් හා පරිගණක ඇතුළු සැකකටයුතු උපකරණ රැසක් සොයා ගැනිමට ආරක්‍ෂක අංශ සමත්වූහ. පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගවට ගෙන තිබේ. ඉන් එක් අයෙකු මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ සැකකරුවන්ගේ සමීපතයෙකු බව හෙළි වී ඇත.

    කුරුණෑගල සුන්දරාපොළ රක්‍ෂිතයේ බෝක්කුවක් අසල දමාගොස් තිබූ විවිධ වර්ගයේ පිහි 14ක් සොයා ගැණින. ඒ, කුරුණෑගල පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි. ගොවිපොළේ සැඟව සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සතුව ගිනි අවියක්, කඩු දෙකක්, දුරකතන කම්බි රෝලක්, හමුදා පාවහන් යුවලක් සොයා ගැණින.

    වැල්ලව පොලිස් බල ප්‍රදේශයේ ඊයේ අලුයම සිදු කළ සෝදිසි මෙහෙයුමකදී 14 දෙනෙකු අත්අඩංගුවට ගැණින. ඔවුන් සතුව තිබූ විවිධ වර්ගවලට අයත් කඩු හා පිහි සමඟ සීඩී තැටි 14ක්, පරිගණකයක්, බැනර් හා අත් පත්‍රිකා තොගයක් පොලිස් බාරයට ගෙන තිබේ.

    කුලියාපිටිය පොලිසිය හා බෝයගනේ යුද හමුදා කඳවුර ඒකාබද්ධව කුලියාපිටිය, යායවත්ත, මුස්ලිම් ගම්මානය ආශ්‍රිතව ඇති අනවසර නැමදුම් මධ්‍යස්ථාන පරීක්‍ෂා කිරීමක් සිදු කෙරිණ. එහිදී, සිවුරුවලට සමාන රෙදි තොගයක් හා අසල නිවසක තිබී ලාංඡන සහිත යුද හමුදා නිල ඇඳුමක් ද සොයා ගැණින. ප්‍රශ්න කිරීම සඳහා කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබේ.

    මහනුවර, අකුරණ ප්‍රදේශයේ යුද හමුදාව සිදු කළ මෙහෙයුමකදී සැක කටයුතු 24 දෙනෙකු සමඟ බෝර 12 තුවක්කුව සහ ජීව උණ්ඩ 12ක් සමඟ වායු රයිෆලයක් ද සොයා ගෙන තිබේ. වෛද්‍යවරයා ද සමඟ තවත් දෙදෙනෙකු කැමරා උපකරණ සමඟ අත්අඩංගුවට ගැණින.

    අනුරාධපුර නගරයේ ඊයේ සවස සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී සැක කටයුතු කාන්තා ඇඳුම් කට්ටල 36ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පරීක්‍ෂාව සිදු කෙරුණේ පොලිසියට ලද තොරතුරකට අනුවයි. තිහාරිය ප්‍රදේශයේ සිට පැමිණි වෑන් රථයක් පරීක්‍ෂා කිරීමේ දී ඒවා සොයා ගැණින.

    නිට්ටඹුව, තිහාරිය ප්‍රදේශයේ ගම්මානයක් ඩ්‍රෝන කැමරාවකින් වීඩියෝ කරින් සිටි තරුණයෙකු ඊයේ අත්අඩංගුවට ගැණින. ඒ, නිට්ටඹුව පොලිසිය මගින්. ඔහු සතුව තිබූ ලැප්ටොප් පරිගණකයක් ද පොලිසිය බාරයට ගෙන තිබේ. අයි.එස්. ත්‍රස්ත නායක අබුබකර්ගේ ඡායාරූපයක් එම පරිගණකයේ තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

    කල්මුණේ සායින්දමරුදු ප්‍රදේශයේ නිවසක බෝම්බ පුපුරුවා ගනිමින් මියගිය 16 දෙනෙකුගේ සිරුරු අම්පාර සුසාන භූමියේ දී අද මිහිදන් කෙරිණ. එහිදී, ජිවිතක්‍ෂයට පත්වූ කුඩා දරුවන් හය දෙනා වෙනුවෙන් පමණක් ඉස්ලාම් ආගමික වතාවත් සිදු කිරීම මෙහි විශේෂත්වයක්.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 මැයි 2019 20:35

    Latest News