කොල්ලුපිටියේදී හමුදා ඇඳුම් සමග අත්අඩංගුවට ගත් 2ක් මුදා හැරේ

අප්‍රේ 29, 2019

    ඉකුත් 21දා සිදු වූ පිපිරීම්වලට සැකපිට කොල්ලුපිටියේදී යූද හමුදා ඇඳුම්වලට සමාන ඇඳුම් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (29) නියෝග කර තිබේ.

    කොල්ලුපිටියේ ජුම්මා මුස්ලිම් පල්ලියේ නේවාසිකාගාර කාමරයක් තුළ තිබී පසුගියදා මෙම යූද හමුදා කැලෑ ඇඳුම්වලට සමාන ටී ෂර්ට් සහිත පාර්සලයක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදී.

    සැකකරුවන් දෙදෙනා සම්බන්ධව විමර්ශන සිදු කිරීමෙන් පසුව ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු නොකරන බව කොළඹ අපරාද කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත. ඒ අනුව මෙලෙස මුදා හැරුනේ මොහොමඩ් ඉක්බාල් රොෂ්න් මොහොමඩ් සහ ගණකාධිකාරීවරයෙකු වන මොහොමඩ් ෂාහිම් මොහොමඩ් ඉෂාන් යන දෙදෙනා වේ.

    කොල්ලුපිටියේ අරලියගහ මන්දිරය අසළ මුස්ලිම් පල්ලියේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මේ ගණකාධිකාරීවරයා අත්අඩංගුවට ගත් බවත් මෙම ඇදුම් අනෙක් සැකකරුගේ පියා පසුගිය සිංහල දෙමළ අලුත් අවුරුද්ද සඳහා විකිණීමට ගත් ඇදුම් තොගයක් බවත් කියා සිටි නීතිඥ මඩුල්ල එම ඇදුම් නැවත ඒවා මිලදී ගත් කඩයට භාර දීමට තිබූ ඒවා බවත් දන්වා ඇත.

    Latest News