අන්තවාදීන්ගේ නායකයන් කිහිප දෙනෙක් අත්අඩංගුවට...ආයුධ සොයා ගැනේ

අප්‍රේ 28, 2019

    අද දිනයේ පොලිස් ඇඳිරි නීතිය පනවා නොමැති බව, පොලිසිය පවසයි.

    මේ අතර ත්‍රස්ත ප්‍රහාරකයන්ගේ ආරක්‍ෂක නිවාස දෙකක් වටලා අවි ආයුධ තොගයක් සහ ලිපි ලේඛන රැසක් සොයා ගැනීමට ආරක්‍ෂක අංශ සමත්වූහ. මේ අතර සමන්තුරේ සයිදමර්දු පිපිරීමෙන් දිවි බේරාගෙන ඇත්තේ මරාගෙන-මැරෙන බෝම්බකරු වන සහරාන් හෂීම්ගේ බිරිඳ සහ දරුවා බව, හෙළිව තිබේ. එම ප්‍රහාරයනේ ඔහුගේ පියා සහ සහෝදරයන් දෙදෙනා මියගොස් ඇත.

    නින්දවූර්හි පිහිටි ආරක්‍ෂිත නිවාසයේ තිබී ලිපි ලේඛන රැසක් සහ ලැප්ටොප් පරිගණක හා සන්නිවේදන උපකරණ රැසක් හමුවිය.

     

    මේ අතර සහරාන් හසීම්ගේ රියදුරු හෙළිකළ තොරතුරු මත වනාතවිල්ලුවේ පිහිටි ත්‍රස්තයන්ගේ ආරක්‍ෂිත නිවාසයක් ද ආරක්‍ෂක අංශ වැටලූහ. එහි වළ දමා තිබූ අවි ආයුධ තොගයක් සොයා ගෙන තිබේ.

    මේ අතර, සහරාන් හසීම් පදිංචිව සිටි කුලියාපටිය, කැකුණගොල්ල පිහිටි නිවසක් අද පොලිසිය පරීක්‍ෂා කලේය. සයින්දමර්දුහිදී දිවි ගලවාගත් කුඩා දැරියගේ ඡායාරූපය එම නිවසේ පදිංචිකරුවන්ට පෙන්වූ පසු ඔවුන් එය හඳුනාගෙන තිබේ.

    ගම්පොළ පාවහන් වෙළෙඳ සැලක සඟව සිටි ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බලකාය එක්ව අද අලුයම මෙහෙයුමක් සිදු කළේය. ඔවුන් මාවනැල්ල, හිඟුල ප්‍ර දේශයේ පදිංචිකරුවන්. මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම කැඩීමේ සිද්ධියට ද සම්බන්ධ ඔවුන් අතුරුදන්ව සිට තිබේ. එම සංවිධානයට ආධාර අනුබල දුන් බව කියන තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් පැමිණි වෑන් රථය නාවලපිටිය, කරහඳුන්ගල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී සොයා ගෙන තිබේ.

    මේ අතර, මාතලේ, වත්ගේම, උකුවෙල ප්‍රදේශයේ නිවසකින් කඩුවක්, ව්‍යාජ ලිපිලේඛන සහ භාන්ඩ රැසක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, මහනුවර දිසා බුද්ධි ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවයි. සැකකරු ජෙමාල්දීන් මොහොමඩ් නවාස් නමැති 40 හැවිරිදි අයෙක්. විදේශ ගමන් බලපත්‍ර 16ක්, ව්‍යාජ හැඳුනුම්පත් 7ක්, පතරොම් 23ක්, සිම්කාඩ්පත් 44ක්, රබර් මුද්‍රා 29ක් ඇතුලු උපකරණ රැසක් සොයා ගෙන තිබේ.

    ඇහැළියගොඩ ප්‍රදේශයේ අද අලුයම සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බුලත්කොහුපිටිය ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ කාත්තන්කුඩු ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිනි අයෙකු සැකකරුවන් අතර වේ. ඔවුන් පරස්පර විරෝධි ප්‍රකාශ ලබාදී ඇති බව වාර්තාවේ. නිවාස සහ මුස්ලිම් පල්ලි රැසක් ද පරීක්‍ෂාවට ලක් කෙරිණ.

    මේ අතර පසුගිය 16 වැනිදා මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ දී බෝම්බයක් සහිත යතුරු පැදියක් පුපුරාගොස් ඇත්තේ පාල්මුණේහි පිහිටි අක්කර 43ක ඉඩමක බව පොලිසිය පවසයි. ඒ බව ඉඩමේ හිමිකරු පසුගිය 17වැනිදා පොලිසියට පැමිණිළි කර තිබේ. එම යතුරුපැදි බෝම්බය පුපුරුවා දින 4කට පසු, මඩකලපුව සියෝන් දේවස්ථානයේ මරාගෙන-මැරෙන ප්‍රහාරය එල්ලකර තිබේ. එම ඉඩම ත්‍රස්තවාදීන් සිය බෝම්බ පිපිරීම් පරීක්‍ෂා කිරීමට යොදා ගෙන ඇති බවටයි පොලිසිය සැකකරන්නේ.

    ගලේවෙල, අලුත්ගම හා එනමල්පොත ප්‍රදේශවල සිදු කළ සෝදිසි මෙහෙයුමකදී 4 දෙනෙකු සමඟ භාණ්ඩ රැසක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දඹුල්ල, පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් අනුවයි. නිවසක සඟවා තිබූ යතුරු පැදි දෙකක්, කඩු දෙකක්, මෙරට තහනම් ත්‍රස්ත සංවිධානවල වීඩියෝපට සහිත ජංගම දුරකතන දෙකක්, වැගන්ආර් මෝටර් රථයක් සොයා ගෙන තිබේ. අත්අඩංගුවට පත් පුද්ගලයන් සතුව තිබූ ජංගම දුරකතනවල මරාගෙන-මැරෙන බෝම්බකරුවන්ගේ කදින් වෙන්වූ හිසෙහි සමීප ජායාරූප සහ ත්‍රස්ත කණ්ඩායමේ නායකයා බවට සැක කෙරෙන ඡායාරූප රැසක් සහ බෝම්බ සහිත යතුරු පැදි කිහිපයක ඡායාරූප ද හමුවී තිබේ.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 15:29

    Latest News