IS ත්‍රස්තවාදය මර්දනය ශ්‍රී ලංකා හමුදාවට හැකියි; මහාචාර්ය රොහාන් ගුණරත්න (වීඩියෝ)

අප්‍රේ 28, 2019

    අයි.එස්. ත්‍රස්තවාදී තර්ජනය මර්දනයට ශ්‍රී ලංකා හමුදාවට හැකියාව ඇතැයි, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥ, මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ජාතික රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින්. රජය ප්‍රතිපත්තිමය තීරණ රැසක් ගත යුතු බව ද ඔහු සඳහන් කලේය. ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ ග්‍රන්ථ රැසක් ද පළ කර ඇති ඒ මහතා, ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳව මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන අතර, සිංගප්පූරුවේ නැන්යැන්ග් තාක්‍ෂණික විශ්වවිද්‍යාලයේ සේවය කරයි. 

    “ජාතික ආරක්‍ෂා පනතක් ලංකාවේ මේ අවස්ථාවේදී සාකච්ජා කරලා ඒක පාර්ලිමේන්තුවේ නිකුත් කරන්න ඕනේ. මොකද සහරාන්ව 2010 ඉඳලා ලංකා ඔත්තු සේවාවන් දන්නවා. නමුත්, එයාව අත්අඩංගුවට ගන්න එයා මිනීමැරීමක් මොනවත් කළේ නැහැ. එයා කලේ අනෙක් ආගම්වලට අපහාස කිරීම. අපි පනතකට දැම්මොත් අනෙක් ආගම්වලට විරුද්ධව කතාකරන අයට විරුද්ධව ක්‍රියාත්මක කරන්න පුලුවන් කියලා සහරාන් වගේ අය තව බිහිවෙන්නෙත් නැහැ. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට ලංකාව බොහොම ශක්තිමත්. ලංකාව ශක්තිමත් නැත්තේ රැඩිකල් අයත් සමඟ වැඩකරලා ඒ අය පුනරුත්ථාපනය කිරීම, ඒ අය අත්අඩංගුවට ගැනීම. ඒකට පනතක් ගේන්න ඕනේ.

    පුනරුත්ථාපනය කිරීමට යම්කිසි සැලැස්මක් හදන්න ඕනේ මුස්ලිම් සංවිධානත් එක්ක. කවදාවත් සිංහල, දෙමළ එක්කෙනෙක් මුස්ලිම් ජාතිකයෙකුට අපහාස කරන්න හොඳ නැහැ. මේ අවස්ථාවේදී මුස්ලිම් අය රජයත් එක්ක වැඩකරලා මේ රැඩිකල් සංවිධාන කඩාකප්පල් කිරීමට කටයුතු කරන්න ඕනේ. ලංකාවේ තියෙන මුස්ලිම් ධර්මය තාත්තගෙන්, සීයාගෙන් ආපු බොහොම ලස්සන ධර්මයක්. මැද පෙරදිගින් එන ඉස්ලාම් ඒවා ඔක්කොම නතර කරන්න ඕනේ. මොකද ඒක මේ ලංකාවට ගැලපෙන්නේ නැහැ. මැද පෙරදිගින් මේ රටට එන දේශකයන් මෙහෙම ඇවිල්ලා අනෙක් අයගේ ආගම්වලට අපහාස කළොත් ඒ අය වහාම අත්අඩංගුවට අරගෙන දැඩි දඬුවම් දිය යුතුයි. එතකොට අනෙක් අයටත් මේ පණිවුඩ එනවා ලංකාවේ ඇවිල්ලා මේවගේ දේවල් කරන්න බැහැ කියලා.“ යැයි  මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා කියා සිටියේය.

    Last modified on සදුදා, 29 අප්‍රේල් 2019 18:34

    Latest News