හමුදාව ගැන පියල් නිශාන්තගේ ප්‍රකාශයට..... ඇමති මංගලගෙන් CIDයට පැමිණිල්ලක්

අප්‍රේ 27, 2019

    එක්සත් ජනතා නිදහස් සන්ධාන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා, පෞද්ගලික නාලිකාවක ඊයේ රාත්‍රී පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් කළ අසත්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන්, කඩිනම් පරීක්‍ෂණයක් සිදුකර නෛතික පියවර ගැනීමට ක්‍රියා කරන්නැයි, අමාත්‍ය මංගල සමරවීර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.

    ආරක්‍ෂක අංශ සහ ත්‍රස්ත කණ්ඩායමක් අතර කල්මුණේ, සායින්දමරුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුර ආරක්‍ෂක අංශ සාමාජිකයින් 11 දෙනෙකු මියගිය බවට කළ ප්‍රකාශය රටේ ජනතාව තුළ අනවශ්‍ය භීතියක් ඇති කිරීම බව පැහැදිලිය. ජාතිවාදී හෝ ආගම්වාදී මතයක් පැතිරවීමේ අපේක්‍ෂා සහගතව ජනතාව නොමඟ යැවීමේ අරමුණින් යුතුව සිදු කරන ලද මෙම ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය මෙන්ම සාහසික ප්‍රකාශයක් බව, අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

    මෙම සිද්ධියෙන් කිසිදු ආරක්‍ෂක නිලධාරියෙකු මරණයට පත්වීමක් හෝ අවම වශයෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයෙකුට තුවාලයක් හෝ සිදුවී නොමැත. මේ මොහොතේ රටේ පවතින ආරක්‍ෂක තත්වය හමුවේ සාහසික ප්‍රකාශය මාධ්‍ය තුළින් සමාජගත කිරීම බරපතල අපරාධයක් බැවින් පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පරීක්‍ෂණයක් සිදුකර අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටී.

    Last modified on සෙනසුරාදා, 27 අප්‍රේල් 2019 20:47

    Latest News