මරාගෙන මැරෙන බෝම්බකරුවන් දිවුරුම් දුන් ස්ථානය වටලයි......බෝම්බ උපකරණ අත්අඩංගුවට (වීඩියෝ)

අප්‍රේ 26, 2019

    සමන්තුරේ ප්‍රදේශයේ අද පස්වරුවේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුමකදී තවුහිද් ජමාද් සංවිධානය මරාගෙන-මැරෙන ප්‍රහාර මාලාව සිදු කිරීමට ප්‍රථම එම බෝම්බකරුවන් දිවුරුම ලබාදෙමින් රූගත කළ ස්ථානය අද පස්වරුවේ ආරක්‍ෂක අංශ විසින් සොයා ගෙන තිබේ.

    බෝම්බ නිෂ්පාදනයට යොදා ගැනෙන පුපුරණ ද්‍රව්‍ය ඇතුළු අමුද්‍රව්‍ය හා තවත් උපාංග රැසක් අත්අඩංගුවට ගැනීමට ආරක්‍ෂක අංශ සමත්වූහ. යුද හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිසිය ඒකාබද්ධවයි, මෙහෙයුම ක්‍රියාත්මක කෙරුණේ. බෝම්බ තැනීමට යොදා ගැනෙන, යූරියා ඇතුළු රසායනික ද්‍රව්‍ය, යකඩ බෝල ලක්‍ෂ 2ක පමණ ප්‍රමාණයක්, බැටරි, ජෙලට් නයිට් පුපුරණ ද්‍රව්‍ය, වයර්, ඩ්‍රෝන යානා, ඇතුළු උපාංග රැසක් මේ අතර වේ.

    මීට දෙදිනකට පමණ පෙර මාධ්‍යයට නිකුත් වූ තවුහිද් ජමාද් සංවිධානයේ ප්‍රධානී සහරාන් හෂීම් නමැත්තා ප්‍රමුඛ පිරිසක් එක්ව දිවුරුමක් ලබාදීමේ දර්ශන පෙළ පටිගත කළ ස්ථානය මෙය බවට ද තොරතුරු ලැබී තිබේ. එම කණ්ඩායම හැඳ සිටි කළු පැහැති ඇඳුම් කට්ටල සහ පාවහන් මෙන්ම පසුබිමේ ඇති කළු පැහැති ධජය ද සොයාගත් භාණ්ඩ අතර වේ.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 21:08

    Latest News