ISIS ත්‍රස්ත ක්‍රියා සම්පූර්ණයෙන් බිඳිමේ ශක්තිය ආරක්ෂක අංශ සතුයි - ජනපති

අප්‍රේ 26, 2019

    මම ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ ISIS සංවිධානයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් ලෝකයේ සිදුවූ සිදුවීම් වගේ ම අපේ රටේ සිදු වූ මේ අවසනාවන්ත සිදුවීම පිළිබඳවයි.

    අපි අවුරුදු 30ක් ඉතාමත් බරපතළ ත්‍රස්තවාදී ව්‍යාපාරයක් සමඟ සටන්කර ජයග්‍රහණය කරපු රටක්. ඒ අවුරුදු 30ක කාලය තුළ ඇතැම් වෙලාවට අපි ජයග්‍රහණ ලැබුවා, ඇතැම් වෙලාවට අන්ත පරාජයන්ට පත් වුණා.

    ඉන්දීය හමුදාව ලක්ෂයක් ලංකාවට ඇවිල්ලා ලංකාවේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මර්දනය කරන්න බැරුව ආපසු ගියා. ඒක තමයි ඉතිහාසය, පසුගිය 21 වන දා වූ මේ සිදුවීම අපේ රටේ දේශපාලන අංශ විශේෂයෙන් ආණ්ඩුවට විරුද්ධ අය පෙන්වන්න හදනවා අපේ රටේ පළමුවෙනි වතාවට මේ බෝම්බ පිපිරීම සිදු වූ ආකාරයක්. මීට පෙර හිටපු සැම ජනාධිපතිවරයෙකුගේම කාලසීමාවන් තුළ බෝම්බ පුපුරලා තිබෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්තයගේ කාලය දක්වා සෑම ජනාධිපතිවරයෙකුගේම කාලයේ මේ බෝම්බ පිපිරීම් සිදු වෙලා තිබෙනවා.

    ඒ අවාසනාවන්ත සිදුවීම්වල දී මේ රටේ සිංහල ජනතාව, එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරිත්ව යුදමය වශයෙන් ඇරඹුණු 1980 කාලසීමාවේ සෑම දෙමළ ජාතිකයෙකු දෙසම ත්‍රස්තවාදියෙක් විදියට බලන්න පටන්ගත්තා. නමුත් පසුකාලීනව යුද්ධය ඇදීයන විට එල්.ටී.ටී.ඊ සංවිධානය කියන්නේ කුමක් ද කියා පැහැදිලි වන විට සිංහල සහ මුස්ලිම් ජනතාව දෙමළ පොදු ජනතාව කෙරෙහි එසේ බැලීම අත්හැරියා.

    ඒ වගේම අද දවසෙත්, විශේෂයෙන් මම මේ රටේ ජනතාවගෙන් කරන ඉල්ලීමක් තමයි සමස්ත මුස්ලිම් ජනතාව දෙස ත්‍රස්තවාදීන් විදියට බලන්න එපා කියන එක, මම ඊයේ සවස් වරුවේ සර්ව ආගමික නායකයන් කැඳෙව්වා, ඊයේ උදේ සර්ව පාක්ෂික දේශපාලන සමුළුවක් පැවැත්වුවා, ඊයේ සන්ධ්‍යාවේ සර්ව ආගමික හමුවේ දී මුස්ලිම් තරුණ පූජකවරයෙක් ඉකිගසමින් හඬා වැටුණා. ඔහුගේ හැඬීම අපිට නවත්වන්න බැරුව ගියා. ඔහු කියා සිටියා, මගේ දරුවා යන්නේ සිංහල පාසලකට, මම ගාල්ලේ ඉන්න පූජකවරයෙක්, නමුත් මේ සිදුවීම සමඟ ඇතිවී තිබෙන තත්ත්වය නිසා අපිට පාරට බහින්න බැහැ. අවුරුදු 30ක යුද්ධයක් තිබුණු වෙලාවේ ආරක්ෂක අංශවලින් කිසිම වෙලාවක මුස්ලිම්වරයෙකුගේ අතේ තියෙන බෑග් එකක්වත් පරික්ෂා කළේ නැහැ කියලා. නමුත් අද මුස්ලිම් කියලා දැනගත්තොත් සැකෙන් බලනවා, මගේ දරුවෝ දැන් පාසලටවත් යවා ගන්න බැහැ කියලා තමයි ඔහු හැඬුවේ.

    ඒ නිසා අපි බොහොම පැහැදිලිව මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මුස්ලිම් පොදු ජනතාව අපි ආරක්ෂා කරගත යුතුයි, ඔවුන් දෙස පොදුවේ වෛරයෙන් බලන්නේ නැතුව. රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව අපි රැකගත යුතුයි. ඒ නිසා ඉතාමත් සුළු පිරිසක් විසින් කරන ලද මේ අතිමහත් භයානක ඛේදවාචකය අපි පැහැදිලිව හෙළා දකිනවා, ප්‍රතික්ෂේප කරනවා වගේම අපි ඒ දෙස සෑමවිටම බලන්නේ ඉතා පිළිකුල් ක්‍රියාවක් ලෙස.

    සැප්තැම්බර් 11 ඇමෙරිකාවේ අර මහා වෙළෙඳ කුලුනු දෙක අල්කයිඩා සංවිධානය බිඳහෙළුවා ගුවන් යානා දෙකක් යවලා. තවත් ගුවන් යානයක් ඇරලා ඇමරිකාවේ ප්‍රධාන ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනයට බෝම්බ දැම්මා. ලෝකයේ යුදමය වශයෙන් අධිතාක්ෂණය, අධි ආරක්ෂාව, නවීන උපකරණ ලෝකයේ කිසිම රටකට දෙවැනි නොවන ජාතික ආරක්ෂක විධිවිධාන තිබෙන රටට තමයි එහෙම කළේ.

    ඒ කුලුනු දෙකේ හිටපු 1600ක් පමණ ජනතාව මිය ගියා. ඇමෙරිකාව විතරක් නෙවේ, ලෝකයම විමතියට පත්වුණා එදා ඇමෙරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානයට එල්ල වූ ප්‍රහාරය පිළිබඳව. මගේ මතකයේ තිබෙනවා 2016 සහ 2017 අවුරුදු දෙකේ යුරෝපයේ ප්‍රබල රටවල්වලට ISIS සංවිධානය ප්‍රධාන ප්‍රශ්නයක් වුණා. යුරෝපයේ ISIS සංවිධානය පහරදුන්නේ නැති රටක් නැති තරම් කියලයි මගේ මතකයේ තිබෙන්නේ, එක් පැත්තකින් එංගලන්තය, අනිත් පැත්තෙන් ප්‍රංශය, ජර්මනිය මේ ප්‍රහාරවලට ලක්වුණා, මට වඩා ඔබ ඒ පිළිබඳ දන්නවා, එවැනි සියලුදේවල් මේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී ව්‍යාපාර විසින් ලෝකයේ සිදු කර තිබෙනවා.

    අපි වගේ පුංචි රටවල්වලට අපිට වගේ යුදමය අධිතාක්ෂණය නොමැති රටවල්වලට නෙවේ, අර විදිහේ ප්‍රබල නවීන තාක්ෂණය තිබෙන රටවල්වලට මේ පහරදිම් කරලා තිබෙනවා, ඒ වගේම තමයි මම මේක වාසියක් ගන්න කතා කරනවා නෙවේ, ලෝකයේ ආගමික අන්තවාදය සහ මත්ද්‍රව්‍ය වෙළෙඳාම අතරේ විශාල සම්බන්ධතාවයක් තිබෙනවා. ආගමික අන්තවාදය හා මත්ද්‍රව්‍ය ජාවාරමත්, ජාත්‍යන්තර යුද අවි ජාවාරමත් එකට යන දේවල්. මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය අතර තිබෙන්නේ දැඩි බැඳීමක්. එල්ටීටීඊ සංවිධානයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වෙලා තිබුණේ එදා හෙරොයින්, කොකේන්, මර්ජුවානා, අසීස් වැනි මත්ද්‍රව්‍ය.

    ඇතැම්විට ISIS සංවිධානය ඔවුන්ගේ පොදු අරමුණු තුළ ලංකාව දිහා බලලා මේ ප්‍රහාරය එල්ල කළා වෙන්නත් පුළුවන්, ලෝකයේ අනෙක් රටවල්වලට පහර දුන්නා වගේම, නමුත් එම පහරදීම මගේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරය නිසා ඉක්මන් වුණා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ අපි පැහැදිලි ලෙස කලබල නොවී ඉවසීමෙන් සංයමයකින්, අර පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ කතා කළා වගේ කටට ආපු දේ කියන්නේ නැතුව වගකීමකින් මෙවැනි අවස්ථාවක කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. ජාතිවාදය සහ ත්‍රස්තවාදය කියන්නේ දෙකක්, ඔබ දන්නවා. ත්‍රස්තවාදය අපිට හොඳට හුරුයි. ඒ වගේම ජාත්‍යන්තර ත්‍රස්තවාදය අපි මෙතෙක් කල් අහලා තිබුණේ මාධ්‍ය තුළ. නමුත් අපිට අවාසනාවන්ත විදියට එය අත්විදින්න සිදු වුණා.

    විශේෂයෙන්ම ISIS සංවිධානයේ දේශපාලන අරමුණු දෙස බැලීමේ දී ISIS සංවිධානය රටවල්වලට පහරදීලා දේශපාලන අස්ථාවරත්වයක් ඇති කරලා ජනතාව නොසන්සුන්කරලා ඔවුන්ගේ කාර්යයන් ඉටුකර ගැනීමට මූලික වශයෙන්ම ප්‍රහාරයන් එල්ල කරන්නේ බටහිර දේශපාලන චින්තනයන්ට හා බටහිර ආගමික දර්ශනයන්ට. ISIS සංවිධානයේ නායකයින් මීට අවුරුදු කිහිපයකට පෙර ප්‍රකාශ කරලා තිබුණා වතිකානුව තුළ ISIS සංවිධානයේ කොඩිය දාපු දවසට තමයි ISIS සංවිධානයේ නියම ජයග්‍රහණය ලබන්නේ කියලා, මම හිතනවා ඒ නිසා තමයි මේ කිතුනු දේවස්ථානවලට පහර දෙන්නේ.

    මත්ද්‍රව්‍ය පිළිබඳ කතා කිරීමේ දී මම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගෙන යන වැඩිපිළිවෙළේ දී ඉතාම ක්‍රියාකාරිව පාරට බැහැලා පෙලපාලි ආපු කෙනෙක් තමයි අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් වහන්සේ, මිට සති තුනකට පමණ පෙර පෙළපාළියකින් ඇවිල්ලා 4000ක් විතර, මෝදර පැත්තේ මටත් එන්න කියලා රැස්වීමක් තිබ්බා. කාදිනල්තුමන් මෙම මත්ද්‍රව්‍ය විරෝධි ව්‍යාපාරයට දැඩි ලෙස සහය වුණා එම ව්‍යාපාරය ශක්තිමත් කරන්න.

    අපේ රටේ වසර 30ක එල්ටීටීඊ සංවිධානය හා ISIS සංවිධානය අතර විශාල වෙනසක් තියෙනවා. එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය අපේ හමුදාවට හිමි වෙනවා වගේම මම දැක්කා පසුගියදා පාර්ලිමේන්තුවේ කළ කතාවල දී ඇතැමුන් බොහොම වීරයන් විදියට කතා කරනවා මේ ප්‍රහාරය ආණ්ඩුවට වළක්වා ගන්න බැරුව ගියා. අපි නම් එල්ටීටීඊ සංවිධානය පරාජය කළා කියලා.

    මා මුලින් කියපු විදියට ඇමෙරිකාවේ පෙන්ටගනය බේරාගන්නත් බැරිවුණා. 1600 ක් එක තැන මියගියේ, ඇමරිකාව වගේ ප්‍රබල රටකට ත්‍රස්තවාදයට මුහුණ දෙන්න බැරි වූ තත්ත්වයක් තුළයි. එල්ටීටීඊ සංවිධානයේ වසර 30 කට ආසන්න ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී ජාත්‍යන්තරය තුළ ඉතාම සුළු සහයක් අපිට ලැබුණේ. ජාත්‍යන්තරයේ ඉතා සුළුතරයක් තමයි අපිට සහයෝග දුන්නේ, එල්.ටී.ටී.ඊ යුද්ධයේ දී ජාත්‍යන්තරයේ අති බහුතරයක් එල්ටීටීඊ සංවිධානයට සහය දුන්නා. සුළු ජාතින්ගේ විමුක්ති අරගලයක් ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදය නෙවේ, ඒ නිසා සහයෝගය දිය යුත්තේ එල්.ටී.ටී. ඊ යට කියලා බටහිර රටවල් එල්ටීටීඊ යට සහය දුන්නා. මානව හිමිකම් කතා කරන, ලංකාවේ මානව හිම්කම් කතාකරලා පසුගිය වසර හතරේ අපේ යුද හමුදාව දුර්වල කරපු, රාජ්‍ය බුද්ධි අංශ දුර්වල කරපු, අය අද මේ ප්‍රහාරයත් එක්ක ඉන්න තැනක්වත් හොයා ගන්න නැහැ.

    ඔබට රහසක් නෙවෙයි ආණ්ඩුවයි මායි අතරේ ප්‍රශ්න දැන් වසර 2 ක සිට උග්‍ර වූ බව ඔබ දන්නවා, ඒ ප්‍රශ්නවලට මුල් වූ කාරණයක් තමයි රටේ හමුදා බුද්ධි අංශ දුර්වල කිරීම හා හමුදා නිලධාරීන් අනවශ්‍ය විදියට සිරභාරයට ගැනීම වැනි ක්‍රියාවලට විරුද්ධව මම ආණ්ඩුව ඇතුළෙත් පිටත් විරෝධය පළ කිරීම සහ ඒ පිළිබඳව තදින් කතා කිරීම. ඒ අවස්ථාවල මේ රටේ මානව හිමිකම් සංවිධානවල ඉන්න ලොකු මහත්වරු කිව්වේ හැම කෙනාටම නීතිය එක වගේ කියලා. නමුත් මම පැහැදිලිවම කිව්වා හැම කෙනාටම නීතිය එක වගේ තියෙන්නට ඕනෑ. නමුත් ආරක්ෂක හමුදා දුර්වල කරන්න බැහැයි කියලා. ඒ වගේම බුද්ධි අංශ දුර්වල කරන්න දෙන්න බැහැයි කිව්වා. හිටපු හමුදාපතිවරු තුන්දෙනා උසාවියට අරන් ගිය විට මම කරපු කතාවක් නිසා අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉල්ලා අස්වුනා ඔබට මතක ඇති. මම හමුදාව සහ බුද්ධි අංශ රැකගන්න සටනක් කළා. අපේ සමහර බුද්ධි අංශ විශේෂඥයෝ පහුගිය කාලේ රට දාලා ගියා. සමහර අය ලංකාවේ ඉන්න බැහැ හිරිහැර වෙනවා කියලා මට කියලා විදේශ රටවලට රස්සාවලට ගියා. මම සමහර රටවල තානාපති කාර්යාලවලට ඒ අය ඇරියා. මොකද ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය තදින් කිව්වා මේ එය මේ තනතුරුවල තියාගන්න බැහැ කියලා. මේවා තමයි ඇත්ත.

    මෙහි සිටින නොසිටින මාධ්‍යවේදීන් මාධ්‍ය ප්‍රධානීන්ගෙන් මා ඉතා ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේ මාධ්‍ය හසුරුවමින් ජනතාව සන්සුන් කිරීමේ වගකීම ඔබ බාරගන්න කියලා. ආණ්ඩු වෙනස් කරන්න, ආණ්ඩු පෙරළන්න, ජනතාව සන්සුන් කරන්න, ජනතාව සතුටු කරන්න, ජනතාව භීතියට පත් කරන්න එහෙම කරන්න පුළුවන් දේශපාලනඥයින්ට වඩා මාධ්‍යටයි. මම සටහන් කිහිපයක දැක්කා ලෝකයේ සෑම රටකම ත්‍රස්ත ප්‍රහාර ඇතිවූ අවස්ථාවේ නිදහස් මාධ්‍යයේ හැසිරීම තුළ ඒ ත්‍රස්ත ප්‍රහාරයේ අරමුණු ඇතැම් වෙලාවට ඉටුවෙලා තිබෙනවා. රජයන් අසරණ වෙලා තිබෙනවා.

    දැන් තරහ වෙන්න එපා කිව්වට, දැන් අපේ විද්යුත් මාධ්‍යවල බ්‍රේකින් නිව්ස් ගහනවා. බ්‍රේකින් නිවුස් එකක් එනකොට ඕන කෙනෙක් අනෙක් වැඩ නවත්තල ඒක දිහා බලාගෙන ඉන්නවා. අද ඇත්තටම බ්‍රේකින් නිව්ස් එකකට තරම් සුදුසු ඒව නොවෙයි බ්‍රේකින් නිව්ස්. බ්‍රේකින් නිව්ස් ගහන්න ඕනෙ තමයි, හැබැයි ඒ විදිහේ ඉතාම හදිසි වැදගත් පණිවුඩයක් ජනතාවට දෙන්න. මේ බ්‍රේකින් නිව්ස් නෙමේ ඊට පැය 12කට පස්සෙ කිව්වත් කමක්නැති ඒවා. ඉතිං ඔය තත්ත්වයෙ දි ප්‍රධාන වශයෙන් රට සන්සුන් කරන්න රටේ සමගිය ඇතිකරන්න මේ ත්‍රස්තවාදය ඉක්මනින් මර්දනය කරන්න ඔබේ සහයෝගය ඉතාම ගෞරවයෙන් මම බලාපොරොත්තු වෙනවා.

    රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා වෙත මේ පහරදීම පිළිබඳව මුලින් ම සම්පූර්ණ තොරතුරු දීල තිබෙනවා. විදේශ රටවලින් දුන්න එම ලිපිය දීර්ඝ ලිපියක්. මං හිතන්නෙ ඔබ දැකලත් ඇති මාධ්‍යයට දැන් එය නිකුත් වෙලා තිබෙනවා.

    ඔබ දැක්ක ඒ ලිපියෙ මුලින් ම තියෙනවා මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙනවා ළඟදීම. ඒ වගේම විශේෂයෙන්ම පල්ලිවලට කිතුනු දේවස්ථානවලට පහර දෙනවා. ඒවගේම මහජනයා ගැවසෙන ස්ථානවලට, රෝහල්වලට පහර දෙනවා. ඒ ලිපියේ ඊළඟට තිබෙන ඡේදයේ තියෙන්නේ ප්‍රහාරය සිදු කරන ක්‍රම. බෝම්බ පිපිරවීම, ස්නයිපර් ප්‍රහාරවලින්, වෙනත් පුපුරණ සහ අවි ආයුධවලින් කියල කොටස් පහක් නැත්නම් හයක් දක්වල තිබුණා, ඒ ප්‍රහාර එල්ල කිරීමට පාවිච්චි කරන ආයුධ පිළිබඳව.

    ඊට පහළ තිබුණා, බොහොම පැහැදිලිව මීට සම්බන්ධ වන අයගෙ නාම ලේඛනය. මේ අය තමා මේක කරන්නෙ. එතකොට විදේශ මිත්‍ර බුද්ධි සංවිධානයක් අපේ රාජ්‍ය බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයාට මේක දීල තියෙන්නෙ අප්‍රේල් 4. අප්‍රේල් 4 සිට අප්‍රේල් 12 දක්වා මේ ලිපිය එහාට මෙහාට ගියා. බුද්ධි අංශ අධ්‍යක්ෂවරයා තමාගේ වගකීම ඉෂ්ට කළා. ආරක්ෂක ලේකම්වරයාට මේ ලිපිය ඉදිරිපත් කළා. ආරක්ෂක ලේකම්වරයා, මේ ගැන වඩා හිතන්නේ නැතිව, භාරධූර තත්ත්වය සැලකිල්ලට ගන්නේ නැතිව ඔහුගේ ජාතිකාරක්ෂක ප්‍රධානී වෙත මේ ලිපියට නෝට් එකක් ගහල යැව්ව.

    ඒ ජාතික ආරක්ෂ ප්‍රධානී ඒ ලිපිය ඔහුගේ රාජකාරි විදියට, සාමාන්‍ය ප්‍රොසීඩියර් එකේ ක්‍රියාමාර්ග යන ක්‍රමයට ඔහු ඒ ලිපිය පොලිස්පතිවරයාට දැම්ම. එතකොට පොලිස්පතිවරයා අතට ගියෙත්, ආරක්ෂක ලේකම්වරයා අතට ගියෙත් සම්පූර්ණ විස්තර සහිත ලිපියත් එක්ක තමයි මේ මිනිට් දදා යන්නෙ. ඊළඟට අයිජීපී පොලිස්පති ඒකට මිනිට්ස් ගහල දානව ඩීඅයිජීල 5 දෙනෙකුට. ඩීඅයිජීල 5 දෙනෙකුට දාපුවහම එක ඩීඅයිජී කෙනෙක් ප්‍රභූ ආරක්ෂක අංශය භාර ඩීඅයිජී දසනායක. එයා ප්‍රභූ ආරක්ෂක බාර නිලධාරින්ට ඒ ලිපියේ තොරතුරු යවනවා මෙන්න මෙහෙම ප්‍රහාරයක් එල්ල වෙනවා ඒ නිසා ප්‍රභූ ආරක්ෂකවරුන්ගේ ආරක්ෂාව සලසන්න කියල.

    නමුත් ආරක්ෂක ලේකම් හෝ අයිජීපී හෝ අයිජීපි ලිපිය යැවූ පහළ ඩීඅයිජී ලා පස් දෙනාගෙන් අනෙක් හතර දෙනා හෝ තමාගේ වගකීම ඉෂ්ට කළේ නැහැ. මේ ආකාරයට අප්‍රේල් 04 ඉඳන් අප්‍රේල් 12 දක්වා ඒ මේ අතට මේ ලියුම් හුවමාරු වෙලා තියෙනවා, මම පිට රට ගියා කියලා මට චෝදනාවක් තියෙනවා, කාටවත් වැඩ භාරදෙන්නේ නැතුව. මහින්ද රාජපක්ෂ මහත්තයා 2010න් පස්සේ එක දවසක්වත් පිට රට යනකොට වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත් කරලා නැහැ. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය පිට රට යනකොට වැඩබලන ආරක්ෂක ඇමති කෙනෙක් පත් කරලා නැහැ. මම වැඩබලන ආරක්ෂක ඇමති විදියට හිටියා 2007-2010 අතරේ පස් වතාවක්, යුද්ධය තදටම තියෙන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්තයා මට භාරදීලා ගියා අවස්ථා 05 ක දී. හැබැයි 2010 පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කිසි කෙනෙකුට වැඩ බලන ආරක්ෂක ඇමති තනතුර දීලා ගියේ නැහැ. එතකොට මේ ලිපිය අප්‍රේල් 04 ලංකාවේ ප්‍රධානින්ට ලැබිලා ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අතරේ මේ ලිපි හුවමාරු වෙනවා අප්‍රේල් 12 වෙනකන්.

    මම පිටරට ගියේ අප්‍රේල් 16, ඒ ලිපිය ලංකාවට ලැබිලා දින 12 කට පස්සේ තමයි මම ගියේ. ඒ වන විටත් එවැනි ලිපියක් ලැබුණු බවට ආරක්ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා මාව දැනුවත් කළේ නැහැ. මේ ලිපිය මට පෙන්නුවේ නැහැ. මම මේවා මේ මගේ නිදහසට කියන කාරණා නෙවේ, නමුත් සත්‍ය තත්ත්වය මම මේ පැහැදිලි කරන්නේ. මම 16 වෙනිදා ගියේ ඉන්දියාවේ වන්දනා ගමනක්. ඉන්දියාවේ දවස් 03 ක් හිටියා. ඉන්දියාවේ ඉඳලා මෙතනට එන්න පැයයි. එතකොට එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඇත්තටම සිංගප්පූරුවට ගියේ විවේකයක් ගන්න. සිංගප්පූරුවේ මම දවස් 03 ක් හිටියා. 21 වනදා හවස තමයි මම එන්න නියමිතව තිබුණේ, 21 උදේ මේ සිදුවීම් සිදුවුණා.

    මෙම සිදුවීම සිදුවී පැය දෙකකට පස්සේ සිංගප්පුරුවේ හිටපු මගේ මිත්‍රයෙක් ඔහුගේ අතේ තිබුණු ජංගම දුරකථනයෙන් මට පෙන්නුවා මෙන්න ජනාධිපතිතුමනි, ලියුමක් යනවා සමාජ මාධ්‍යවල. මේ ගැන කරුණු සඳහන් වෙනවා කියලා. ඒ යන්නේ ඩීඅයිජී දසනායක ප්‍රභූ ආරක්ෂක ප්‍රධානීන්ට, මෙවැනි සිදුවීම් වෙන්න පුළුවන් ඒ නිසා ප්‍රභූවරුන් පරිස්සන් කරගන්න කියලා යවපු ලියුම. මම දසනායකගේ ඒ ලිපිය දැක්කේ සිංගප්පූරුවේ සෝෂල් මීඩියාවලින්. ඒ ලිපිය අයිජීපී ගේ මිනිට් එක ගිහිල්ලා තියෙන්නේ කාට ද, ස්ටාෆ් ඩීඅයිජී ට ස්ටාෆ් ඩීඅයිජී කියන එක්කෙනා තමයි පොලිස්පතිගේ පෞද්ගලික සහකාර, පොලිස්පතිගේ උපදෙස් හා ලියකියවිලි එහේ මෙහේ යවන්නේ එයා. එතකොට ස්ටාෆ් ඩීඅයිජී තමයි මේ ලියුම දසනායකට සහ අනෙක් ඩීඅයිජීලාට යැව්වේ.

    ස්ටාෆ් ඩීඅයිජී ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ දසනායකට දැන්නුවා. නමුත් දසනායක කියන්නේ ජනාධිපතිගේ, අගමැතිගේ ආරක්ෂක කටයුතු භාර නිලධාරියෙක් නෙවේ, ස්ටාෆ් ඩීඅයිජී තමන්ගේ ඒ ලියුම අනිත් අයට යැව්වා වගේම ජනාධිපතිවරයාගේ ඩීඅයිජී ටයි අගමැතිතුමාගේ ඩීඅයිජී ටයි යවන්න ඕන, නමුත් මේ දෙදෙනාගෙන් එක්කෙනෙකුටවත් මේ ලිපි එකක්වත් එවලා නැහැ. දැන් පහුගිය දවස්වල කිව්වේ අගමැති දැනුවත් කරලත් නැහැ, ඇමති මණ්ඩලය දැනුවත් කරලත් නැහැ, අපි දන්නෙත් නැහැ කියලා. අනිත් එක අවසාන කැබිනට් රැස්වීම අප්‍රේල් 09, ඊළඟ කැබිනට් රැස්වීම තිබ්බේ සතියක් තුළ අප්‍රේල් 16. අප්‍රේල් 09 රැස්වීමේ දී සියලු ඇමතිවරු ඉල්ලීමක් කළා මීළඟ කැබිනට් රැස්වීම තියන්න එපා අපි නිවාඩු ගන්න ඕන කියලා. ඒ සතිය කවුරුත් එදා නිවාඩු ගන්න සතියක්. මම බොහෝම පැහැදිලිව කියන්නට ඕන මේ වගකීමෙන් මම නිදහස් වෙන්න ලැහැස්ති නැහැ. මේ වගකීම රජය භාරගත යුතුයි.

    එම වගකීම රජය භාරගන්න කොට බුද්ධි අංශය මර්දනය කිරීම බුද්ධි අංශ ප්‍රධානීන් හිරේට දාපු එක ත්‍රිවිධ හමුදාව දුර්වල කරපු එක ඒ ඔක්කොම ඒ වගකීම භාරගන්න ඕන රජය. රජයේ කොටස්කාරයෝ හැම කෙනෙක්ම. එකතොට මේ සිද්ධියේදී ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා කිසිසේත්ම තමාගේ වගකීම ඉෂ්ට කරලා නැහැ. අඩුතරමේ මට ටෙලිෆෝන් කෝල් එකක් දෙන්න තිබුණා. මේ දෙන්නම අප්‍රේල් 17 වෙනිදා අලුත් අවුරුද්දට මට බුලත් දෙන්න ආවා. කිරි ඉතිරෙව්වට පස්සේ මේ දෙන්නම ඇවිත් මට බුලත් දුන්නා. ඒ අවස්ථාවේදීවත් කිව්වේ නැහැ මෙහෙම ලියුමක් ඇවිත් කියලා. බුලත් දීලා යන්න ගියා. අපේ රටේ හොඳට වැඩකරන අය වගේම මේ විදියේ බරපතළ වගකීමක් පැහැර හැරීමේ ජීවිත දේපළ විනාශය ජාත්‍යන්තර වශයෙන් සංචාරක ව්‍යාපාරයට හා ආර්ථිකයට එන බලපෑම් මේ සියල්ලලේ වගකීම ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සතුයි. ඒ නිසයි මම ඒ දෙන්නට ඉල්ලා අස්වෙන්න කිව්වේ. ඒ අය ගැන විනය පරීක්ෂණ පවත්වන්න කලින් මම ඉල්ලා අස්වෙන්න කිව්වා. ආරක්ෂක ලේකම්වරයා ඊයේ අස්වුණා. පොලිස්පතිවරයාට මම අස්වෙන්න කිව්වා ඔහු අස්වෙන බව ප්‍රකාශ කළා.

    මෙහිදී මම ඉතාම පැහැදිලිව කියන්නට ඕනෑ. මම පොලීසිය භාරගෙන මාස 04 යි. ඒ කාලය තුළ මම පොලීසියේ විශාල වෙනස්කම් කළා. කාර්යක්ෂම කළා. පහුගිය වසර 4 කට පෙර පොලීසියට කසිප්පු අල්ලන්න බලයක් නැහැ. කසිප්පු අල්ලන්න පොලීසියට බැහැ පුළුවන් සුරාබදු එකට විතරයි. මම පොලීසිය භාරගෙන තමයි කසිප්පු අල්ලන නීති සංශෝධනය කළේ. මම පොලීසිය බාරගෙන පැවති පළමු සාකච්ඡාවේ දී දැනගත්තා පොලීසි 30ක් තියෙනවා එක වාහනයක් වත් නැති. මම ඒ වෙලාවේ නියෝග කළා වහාම පුද්ගලික අංශයෙන් හයර් එකට ඩබල් කැබ් 30ක් අරන් ඒ පොලිස් ස්ථානවලට දෙන්න කියලා. මේ විදියට තමයි පොලීසිය භාර පහුගිය වසර 4 තුළ හිටපු ඇමතිවරු කටයුතු කරලා තියෙන්නේ දැන් මගේ ඇඟේ චෝදනාව දාලා කතා කළාට.

    ඊයේ සර්ව පාක්ෂික සමුළුවේ බොහෝ දැඩි විවේචන ගියා. මම ඒවා අහගෙන හිටියා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. මම පොලීසිය භාරගත්ත මාස 4 පොලීසියේ හුඟක් දේවල් වෙනස් කළා. නීති සංශෝධනය කළා. අලුත් නීති හදන්න පටන් ගත්තා. පොලීසිය තුළ පිබිදීමක් ඇති කළා. මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳ පුළුල් ශක්තිමත් වැඩපිළිවෙළක් මම ක්‍රියාත්මක කළා. මේ රටේ කිසිම දේශපාලනඥයෙක් මත්ද්‍රව්‍ය විරෝධී වැඩපිළිවෙළට අත ගැහුවේ නැහැ. නමුත් මම අත ගැහුවා. ඒ අත ගැසීම තුළ රටේ විශාල වෙනසක් ඇති කළා. ඒ වැඩපිළිවෙළට ජනතාවගේ විශාල ප්‍රසාදයක් ආවා. මේ ප්‍රහාරය නිසා ඒ තත්ත්වයටත් හානි වුණා.

    පොලිසිය, එස්ටීඑෆ් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව මේ කටයුතු කරගෙන යනවා ඉතාම සාර්ථකව, මේ වන විට 70කට වැඩි පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා, සාමාන්‍යයෙන් අපට තිබෙන තොරතුරු අනුව 140ක විතර සංඛ්‍යාවක් තමයි මේ ISIS සංවිධානයට සම්බන්ධ පිරිස ලංකාවේ සිටින්නේ. ඒ සියලුදෙනා අත්අඩංගුවට ගැනීමටත්, ඒ අය සොයා ගැනීමටත් මෙහෙයුම් මේ වන විට ක්‍රියාත්මක කරලා තිබෙනවා.

    දැන් ඔබට පේනවා මොනතරම් අපේ ආරක්ෂක හමුදාව ක්‍රියාශීලි ව කටයුතු කරලා තිබෙනවද කියලා. අත්අඩංගුවට ගැනීම්, වැටලීම්, පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම් මෙවැනි කාරණා. ඒ නිසා ඉදිරි දින කිහිපය තුළ මම විශ්වාස කරනවා අපිට සම්පූර්ණයෙන් මේක මර්දනය කරන්න පුළුවන් කියලා. ලෝකයේ අනෙක් රටවල් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නා වගේම මේ ප්‍රශ්නයට අපිට මුහුණ දෙන්න පුළුවන් ISIS ලංකාවේ ක්‍රියාකාරිත්වය අපි නවත්තවනවා සම්පූර්ණයෙන්, ඒ හැකියාව ශක්තිය ත්‍රිවිධ හමුදාවට පොලිසියට තිබෙනවා. ඔවුන්ගේ බුද්ධි අංශ අනෙක් මෙහෙයුම් සඳහා තිබෙන දක්ෂතාවයන් මේ සියල්ල ඔවුන්ට තිබෙනවා.

    මේ වන විට ඉතා ප්‍රබල රටවල් කිහිපයක විශේෂඥයන් ප්‍රධාන වශයෙන්ම ISIS සංවිධානයට විරුද්ධව කටයුතු කරන විශේෂඥ කණ්ඩායම් ලංකාවට ඇවිල්ලා අපේ ආරක්ෂක හමුදාවන් සමග එකතුවෙලා කටයුතු කරනවා. කිසිම හමුදාවක් ලංකාවට ගෙනල්ලත් නැහැ, ගේන්නෙත් නැහැ, ඒ එක් එක් අංශවල දැනුම ලබා ගැනීම සඳහා පුහුණුවීම්වලට අවශ්‍ය විශේෂඥයන් තමයි දැනට ලංකාවේ අපේ නිලධාරින් සමග කටයුතු කරන්නේ.

    ඒ නිසා මම විශ්වාස කරනවා මේ සියලු දේවල් අපිට ප්‍රශ්නයක් බවට පත්වුණත්, අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණත් අපිට හැකියාවක් තිබෙනවා මෙය සම්පූර්ණයෙන් මර්දනය කරන්න, මෙය සම්පූර්ණයෙන් මර්දනය කරනවා.

    Last modified on සිකුරාදා, 26 අප්‍රේල් 2019 19:25

    Latest News