සැලකිලිමත්වන්න...සැකකටයුතු බෝම්බකරුවන් හඳුනාගන්න

අප්‍රේ 25, 2019

    සැකකටයුතු පුද්ගලයන්, වාහන සහ විනාශකාරී ක්‍රියා සම්බන්ධව දැනුම්දීම සඳහා යුද හමුදා මූලස්ථානය විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබේ.

    ආරක්‍ෂක අංශ පෙන්වා දෙන්නේ, වඩා විමසිලිමත් වීමෙන් අනතුරක් වළක්වා ගැනීමට මෙන්ම, බෝම්බකරුවකු වුව ද හඳුනා ගැනීමට හැකි බවයි. පුද්ගලයෙකු තමාගේ ශරීර ප්‍රමාණයට වඩා විශාලත්වයෙන් වැඩි ඇඳුම් පැළඳ සිටී නම්, කාලගුණික හෝ දේශගුණික තත්වලට නොගැලපෙන ඇඳුම් පැළඳුම් පැළඳ සිටීම, පීඩනය හේතු කර ගනිමින් වැඩිපුර දහඩිය දැමීම මෙන්ම, අස්වාභාවික ඇවිදීමේ ඉරියව්වක් පෙන්නුම් කරයි නම්, වඩාත් අවදානයෙන් සිටිය යුතුවේ.

    යම් එක් ඉලක්කයක් වෙත ඇවිද යමින් මුහුණේ බියපත් වූ හා කලබලකාරී වූ ඉරියව්වක් පෙන්නුම් කරයි නම්, තනියම තමන් කතා කරමින් සිටී නම්, විශේෂයෙන් තමන් අදහන ආගමක පාඨ මුමුණමින් සිටී නම්, එවැනි පුද්ගලයන් පිළිබඳව ද සැළකිලිමත් විය යුතු යි. බෝම්බකරුවෙකු කිසිවෙකුටත් ආචාර නොකර හෝ පාලනයකට යටත් නොවන හැසිරීමක් පෙන්නුම් කළ හැකියි. විශාල ජනකායක් ගැවසෙන ස්ථානයකට අන් අයව තල්ලු කරමින්, ඔවුන්ට බාධා කරමින් ඉදිරියට ගමන් කිරීම සිදු කරනු ලබන්නේ නම්, ඒ පිළිබඳව ද අවධානයෙන් සිටිය යුතුය.

    ඉහත සඳහන් ලක්‍ෂණවලට අමතරව බෝම්බකරුවකු විශාල බෑගයක් පැළඳ සිටිය හැකියි. බොහෝ විට තමන් පැළඳ සිටින කලිසමේ සාක්කුවලට දෑත් දෙකම දමා ගමිනිම් තමන් තරයේ අල්ලා සිටින ආකාරයක් වුව ද පෙන්නුම් කළ හැකියි. ඉහත සඳහන් කුමන ආකාරයේ ලක්‍ෂණයක් හෝ සැක සහිත හැසිරීමක් පෙන්නුම් කරන පුද්ගලයෙක් දුටුවිට ඉන් ඉවත්වී වගකිව යුතු බලධාරියෙකු ඉක්මණින් දැනුවත් කළ යුතුයි. ඒ සඳහා ඔබට මෙම දුරකතන අංක භාවිත කළ හැකියි.


    0112-43 42 51, 0114-05 51 05, 0114-05 51 06, 076 - 6 91 16 04

    පවතින වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම දුරකතන අංක හඳුන්වා දුන් බව, යුද හමුදා මූලස්ථානය පවසයි.

    Latest News