බෝම්බ ප්‍රහාරයේ වගකීම IS බාරගනී.... තවත් ප්‍රහාරයක් ගැන අනාවරණයක්

අප්‍රේ 23, 2019

    ශ්‍රී ලංකාවේ 321 දෙනෙකුට මරු කැඳවමින් සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ වගකීම තමන් බාරගන්නා බව, ඉස්ලාමීය රාජ්‍ය හෙවත් අයි.එස්. කල්ලිය ප්‍රකාශ කරයි.

    ඔවුන් පවත්වාගෙන යන “අමාක්“නමැති ප්‍රවෘත්ති සේවය මගින් මෙය සනාථ කර තිබේ. අයි.එස්. කල්ලිය ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව දැක්වෙන ප්‍රකාශයක් අමාක් සේවාව මගින් ලබාදුන් බව, රොයිටර් ඇතුලු අන්තර්ජාතික ප්‍රවෘත්ති සේවා ගණනාවක් ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත්, ඔවුන් ප්‍රහාරය සිදු කළ බව තහවුරු කෙරෙන සාක්‍ෂි කිසිවක් මේ වාර්තාව මගින් ඉදිරිපත් කර නැහැ. ප්‍රධානතම ජිහාඩ් සටන්කාමී කල්ලිය වන අයි.එස්. සංවිධානය මෙය සිදු කළේ, නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ලවූ ප්‍රහාරයට පිළිගැනීමක් ලෙස යැයි ද ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්. සිද්ධිය පිළිබඳ මුලික සැකය යොමුවී ඇත්තේ, ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය කල්ලි දෙකක් වෙතයි. ඊට අන්තර්ජාතික සබඳතාවක් ඇති බවට දේශීය මෙන්ම විදේශීය පරීක්‍ෂණ කණ්ඩායම් ද විශ්වාස කරන බව, අන්තර් ජාතික මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස් සැකකරුවන් ඇතුළු 40 දෙනෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් වගකිව යුතු ජාතික තවුහිද් ජමාද් නමැති සංවිධානය නැවතත් ප්‍රහාරයකට සූදානම් වන බව, ඉන්දීය ඔත්තු සේවා බලධාරීන් ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශ වෙත දැනුම් දී ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි දැක්වෙන්නේ ඉන්දීය ආරක්‍ෂක අංශ මෙම ප්‍රහාර පිළිබඳ විමර්ශන සඳහා තාක්‍ෂණික හා බුද්ධි තොරතුරු මගින් ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බවයි. තවුහිද් ජමාද් සංවිධානයේ දෙවැනි ප්‍රහාරක කණ්ඩායම රිල්වාන් මර්සාග් සහ නව්ෆර් මව්ලවි යන අයගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක බව, ඉන්දීය ඔත්තු සේවා ප්‍රකාශ උපුටා දක්වන හින්දුස්තාන් ටයිම්ස් වාර්තාව සඳහන් කරයි. ඔවුන් මෑතදී කටාර් දේශයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද තහවුරු කෙරේ.

    මේ අතර සැකකටයුතු පාර්සල් හා ස්ථාන පිළිබඳ ලද තොරතුරුවලට අනුව කොළඹ කොටුව හා කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක අද විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරිණ. සැක කටයුතු ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් පිළිබඳ තොරතුරු ලැබීමෙන් පසු කොළඹ දිසාවේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කිරීමට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගෙන තිබේ. මේ වනවිටත් කොළඹ දිසාවේ විවිධ ස්ථානවල නවතා ඇති හා සැකකටයුතු රථවාහන රැසක් පරීක්‍ෂාවට ලක්වෙමින් පවතින බව, පොලිසිය හා ආරක්‍ෂක අංශ පවසයි. කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා පොලිස් ස්ථාන වෙත මේ පිලිබඳ තොරතුරු දැනුම් දී තිබේ.

    බෝම්බ සවිකර ඇති ඇලුමිනියම් තහවුවලින් ආවරණය කරන ලද ලොරි රථයක් මෙලෙස කොළඹ නගරයට පැමිණ ඇති බවට බුද්ධි අංශ හෙළිකර ගෙන තිබේ. මේ අතර ලියාපදිංචි අංක 15 කාණ්ඩයේ ලා නිල් පැහැති මෝටර් රථයක් හා CBF කාණ්ඩයේ සුදු පැහැති සැක කටයුතු නවීන මෝටර් රථයක් පූගොඩ ප්‍රදේශයේ සැරිසරන බවට ද පොලිසිය දැනුවත් කර තිබේ. මෙම වාහනවල පුපුරන ද්‍රව්‍ය ඇති බව වාර්තාවේ. පුපුරණ ද්‍රව්‍ය සහිත යතුරු පැදි කිහිපයක් පිළිබඳව ද තොරතුරු වාර්තා වී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේය.

    මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පැමිණි මරාගෙන-මැරෙන බෝම්බකරු බවට විශ්වාස කෙරෙන පුද්ගලයා මීට ටික කලකට පෙර මාධ්‍ය හමුවකට එක්ව සිට ඇත. ඔහු බෝම්බය සමඟ පාගමනින් දේවස්ථානය කරා පැමිණෙන අයුරු දේවස්ථානය හා ඒ අවට ආවේක්‍ෂණ කැමරා කිහිපයක පටිගත වී තිබිණ.

    ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතුවෙන් මහජන ආරක්‍ෂාව හා රටේ යථා පැවැත්ම සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නියෝගය පරිදි අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ නිකුත් කෙරිණ. මහජන ආරක්‍ෂක ආඥා පනතේ දෙවැනි වගන්තියෙන් ජනාධිපතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව එම ආඥා පනතේ දෙවැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම ඊයේ මධ්‍යම රාත්‍රීයෙන් පසුව ක්‍රියාත්මක කිරීම මේ යටතේ බලාත්මකයි.

     

    Last modified on අඟහරුවාදා, 23 අප්‍රේල් 2019 20:12

    Latest News