මිලේච්ඡ ප්‍රහාරයෙන් මියගිය පිරිස 220ක්

අප්‍රේ 21, 2019

    කතෝලික දේවස්ථාන හා හෝටල් කිහිපයක් ඉලක්ක කර අද උදේ එල්ල කෙරුණු මිලේච්ඡ ප්‍රහාර මාලාවෙන් මියගිය පිරිස 220 ඉක්මවා තිබේ.

    470 දෙනෙකු පමණ රෝහල් 06ක ප්‍රතිකාර ලබන බව එම රෝහල්වලින් ලැබෙන වාර්තා සඳහන් කරයි. පාස්කු ඉරිදා දින දේව මෙහෙයන්ට සහභාගිවී සිටි බැතිමතුන් සහ හෝටල්වල රැඳී සිටි දෙස්-විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පිපිරීම් මාලාව සිදුකර තිබේ. පළමු පිපිරීම වාර්තා වූයේ මීගමුව කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයෙන්.

    ඒ උදේ 8.40ට පමණ. එම සිද්ධියෙන් සියයකට අධික පිරිසක් මියගොස් තවත් එවැනිම සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල්ගත කෙරුණු බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි. එම ප්‍රහාරයෙන් මිනිත්තු 05කට පමණ පසුව කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පිපිරීම සිදුවිය. එහිදී තුවාල ලැබූ 200කට ආසන්න පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කෙරිණ. මඩකලපුව සියෝන් දේවස්ථානය තුළ උදේ 9.20ට පමණ බෝම්බ පිපිරීම සිදුවූ අතර, ඉන් 28 දෙනෙකු මියගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. කොළඹ ෂැන්ග්‍රිලා, කිංග්බරි සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වල අවන්හල් තුළ අනෙක් පිපිරීම සිදුව තිබේ.

    එම පිපිරීම් සියල්ල උදේ 9.15ත් 9.30ත් අතර සිදුවූ බව වාර්තා විය. එම අවන්හල් තුළදී මියගිය විදේශිකයන් 30 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, තුවාල ලැබූ තවත් 13 දෙනෙකු පමණ රෝහල් තුළ ප්‍රතිකාර ලබයි. ඔවුන්ගෙන් වැඩි පිරිසක් බෙල්ජියම්, චීන, අමෙරිකා හා බ්‍රිතාන්‍ය ජාතිකයන්. ආරක්‍ෂක ආරංචි මාර්ග සැක පළ කරන්නේ, මේ අතරින් බොහොමයක් පිපිරීම් මරාගෙන-මැරෙන බෝම්බකරුවන් විසින් කළ ඒවා විය හැකි බවයි. ෂැන්ග්‍රිලා හෝටලය වෙත එවැනි සැකකරුවන් දෙදෙනෙකු පැමිණි බව කියන වෑන් රථයක් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාරේ තිබී අද පස්වරුවේ පොලිස් බාරයට ගැණින.

    ඒ පිලිබඳ තවදුරටත් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. එම හෝටල් ආශ්‍රිත පිපිරීම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන ආරම්භ කළ අතර, එහිදී ලද තොරතුරක් අනුව, දෙමටගොඩ වහවිල පටුමගේ සුඛෝපභොගි තෙමහල් නිවසක් පරීක්‍ෂාවට ලක් කෙරිණ. එම නිවස පරීක්‍ෂාවට ගිය පොලිස් නිලධාරී කණ්ඩායමේ පොලිස් පරීක්‍ෂකවරයෙකු ඇතුළු තිදෙනෙකු පරීක්‍ෂාව අතරතුර සිදුවූ තවත් පිපිරීමකින් ජිවිතක්ෂයට පත්වූහ. තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබීය. ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකාය හා බෝම්බ නිශ්ක්‍රිය ඒකකය මෙන්ම යුද හමුදාවේ භට පිරිස් කැඳවා නිවස වටලා පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණ. එම ස්ථානයේ සැඟව සිටි සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනුනේ ඒ අනුවයි.

    අද පෙරවරුවේ සිදුවූ ප්‍රහාර මාලාව මෙම ස්ථානයේ සිට මෙහෙයවන ලද බවට ආරක්‍ෂක අංශ සැක පළ කරයි. මේ අතර, එම සිද්ධිය අතරවාරයේ දෙහිවල සත්වෝද්‍යානය ආසන්නයේ පිහිටි ලැගුම්හලක තවත් බෝම්බ පිපිරීමක් සිදුවිය. එහිදී කාන්තාවක ඇතුළු දෙදෙනෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබූ බවයි වාර්තා වන්නේ. මෙම සියලු සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ පොලිස් කණ්ඩායම් ගණනාවක් විමර්ශන ආරම්භ කර තිබේ.

    Latest News