දෙවියන් වහන්සේ නිදහස දිනා ගැනීමට ගත් විමුක්තිදායක අත්දැකීම් පාස්කුවේ පදනමයි..

අප්‍රේ 19, 2019

    දෙවියන් වහන්සේ තමන් වහන්සේව දෙව්කයෙන් හිස් කොට සියලු දෙනාගේ ගැලවීම සහ නිදහස දිනා ගැනීම සඳහා ගත් විමුක්තිදායක අත්දැකීම් පාස්කුවේ මූලික පදනම විඳහා දක්වන්නක් බව පාස්කු සැමරුම වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ අගරඳගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. 

    පාස්කු සැමරුම පැවැත්වෙන මහ සිකුරාදා අදට යෙදී තිබේ. 

    ''දෙවියන් වහන්සේ තමන් වහන්සේව දෙව්කයෙන් හිස් කොට සියලු දෙනාගේ ගැලවීම සහ නිදහස දිනා ගැනීම සඳහා ගත් විමුක්තිදායක අත්දැකීම් පාස්කුවේ මූලික පදනම විදහා දක්වන්නකි. මේ නිදහස දිනා දීමට සැබැවින්ම නැගී සිටි හෘදයාංගම ප්‍රකාශනය වන්නේ කුරුසියේ සලකුණයි. කුරුසිය ප්‍රතික්ෂේප කරමින් හෝ සකල විධ දුඃඛපීඩාවෙන් වැළකී සතුට සඳහා කෙටි මං සෙවීම අද ලෝකය තුළ ආත්මාර්ථකාමී කටයුත්තක් වී ඇති අතර දුක්විඳීමේ සැබෑ අරුත වෙත අපගේ අවධානය යොමු කිරීම අවශ්‍ය වේ. එමඟින් ආත්මාර්ථකාමීත්වයේ බැඳීම් වලින් මිදෙන්නට අපට අවකාශ සැලසේ.

    ක්‍රිස්තුන් වහන්සේ මුළුමනින් අනුගමනය කළ පිළිවෙත වූ ජීවිතයේ සියලු තෘෂ්ණාවන් අතහැර දැමීම තුළින් සෑම දෙයක්ම සියලු දෙනාට යන පදනමේ පිහිටා ආත්මාර්ථකාමීත්වයේ වහල් භාවයෙන් හිස් වීමට අපට මඟ පෙන්විමයි. සත්‍ය වශයෙන්ම උන්වහන්සේගේ උකුත් වීම සහ උත්ථානයේ දී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සැබෑ ආනන්දය සහ නිදහස සොයා ගන්නේ කෙසේදැයි අපට පෙන්වා දෙන සේක. අපගේ අහංකාරකම්, අපගේ ප්‍රතිරූපයේ දීප්තිය ගැන නොතකා, ස්වයං කීර්ති කදම්බයේ සියලු කාන්තීන්ගෙන් අප හිස්වීමෙන් අප වඩාත් විවෘත සහ තෘප්තිමත් වන බැව් උන්වහන්සේ අපට පෙන්වා දුන්සේක. ක්‍රිස්තුන් වහන්සේ මරණයේ බලය පරදා නැගී සිටියේ ඒ සඳහා ය. උන්වහන්සේ අපගේ වහල් බවේ වැටීම තමන් සතු කරගනිමින් ඒ සියල්ලෙන් අප නිදහස් කළේ උන්වහන්සේම මානව දුඃඛපීඩාවන් විඳිමින් ඒ ඔස්සේ ආත්මාර්ථකාමීත්වයට මිනිසා සතු දැඩි ඇල්මෙන් ඔහු මුදා ගැනීමටය. 

    දෙවියන් වහන්සේ උදෙසාත් කෙනෙකුගේ අසල්වැසියා උදෙසාත් සියල්ල අහිමි කරගැනීම ක්‍රිස්තියානි විශ්වාසයේ ඉහළම කැඳවීම වන අතර එමඟින් අපට ක්‍රිස්තුන් වහන්සේ සමඟ මුළුමනින්ම එක්වීමට ඉඩ සැලසීම තුළින් කුරුසියේ විජයග්‍රහණයට සම්බන්ධවීමට හැකිවේ.''

    Last modified on සිකුරාදා, 19 අප්‍රේල් 2019 09:57

    Latest News