ඩොලරය, යෙන් සහ ඉන්දිය රුපියල පරයමින් රුපියල් නැවත් ශක්තිමත්වේ

අප්‍රේ 16, 2019

    පසුගිය මාසයේ සිට අද දක්වා ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 4.6%කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව බ්‍රිතාන්‍ය ස්ටලිං පවුම්, ජපානයේ යෙන් සහ ඉන්දීය රුපියල යන මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ ගොස් ඇත.

    ගෝලීය මූල්‍ය තත්ත්වය ලිහිල්වීම සහ ඇමෙරිකාව ඇතුළු දියුණු ආර්ථික සිය මුල්‍ය ප්‍රතිපත්තීන්වල මුහුණුවර වෙනස් කිරීම හේතුවෙන් රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත ලැබෙන විදෙස් ආයෝජන ගලාඒම් ද ඉහළ ගොස් ඇතැයි මහ බැංකුව පවසයි.

    එම වර්ධන තත්ත්ව සහ අපනයනකරුවන් ඔවුන්ගේ ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීම සහ උත්සව සමයේදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ගලාඒම් ඉහළ යෑම යන කරුණු හේතුවෙන් ඇමෙරිකානු ඩොලරයට සහ අනෙකුත් මුදල් ඒකකවලට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමට බලපා ඇත.


    ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (16) නිකුත් කළ දෛනික විනිමය අනුපාතවලට අනුව ඇමෙරිකා ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.45ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 172.61ක් ලෙසත් දැක්විණි. මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව පසුගිය 12 වැනිදා ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 176.5047ක් ලෙසින්ද ගැනුම් මිල රුපියල් 172.66 ක් ලෙස පැවතිණ. මේ අනුව ඩොලරයක විකුණුම් සහ ගැණුම් මිල ශත පහකින් පහල ගොස් තිබේ.

    ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වු අතර නැවතත් එහි වටිනාකම ඉහල යාම ආරම්භ වුයේ මේ වසරේ මාර්තු සිටයි. පසුගිය වසරේ දෙසැම්බර් මාස ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගියේය.

    ඩොලර් බිලියන 6ක් පැවති මහ බැංකු සංචිතය ඩොලර් බිලියන 7.6 දක්වා මේ  වන විට වර්ධනය වි තිබේ.

    Last modified on අඟහරුවාදා, 16 අප්‍රේල් 2019 16:01

    Latest News