ජනපති දළුපොත තරුණ රැඳවියන්ගේ විශේධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක

අප්‍රේ 13, 2019

    ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පස්වරුවේ මීගමුව, දළුපොත තරුණ රැඳවියන්ගේ විශේධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    තරුණ රැඳවියන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී සොයා බැලූ ජනාධිපතිතුමා එම තරුණයන් සමග සුහද කතා බහක ද නිරත විය. තම ජීවිත කතාව සහ තමන් අතින් සිදු වූ වැරදි පිළිබඳ මෙහිදී තරුණයන් කිහිප දෙනෙකු ජනාධිපතිතුමා සමග තොරතුරු පැවසූ අතර එම හඬට ජනාධිපතිතුමා සාවධානව ඇහුම්කන් දෙනු ලැබීය. සුළු වරදකරුවන්, තරුණ හා නවක වරදකරුවන් ඵලදායී පුනරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීම මඟින් ඔවුන් බරපතළ අපරාධකරුවන් බවට පත්වීම වළක්වා සමාජයේ යහපත් පුරවැසියන් බවට පත් කිරීම මෙම මධ්‍යස්ථානය හරහා සිදු කෙරේ.

    තරුණයන් නැවත වරදට පෙළඹීම වළක්වාලමින් ඔවුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය ඇතිකිරීම සහ යහපත් පුරවැසියෙකු ලෙස ජීවිතය සකසා ගැනීම පිළිබඳ අවබෝධය ලබාදීමේ නිරන්තර දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදි එම මධ්‍යස්ථානයේ අධිකාරිවරයා ඇතුළු නිලධාරින් වෙත පැහැදිලි කළේය. එමෙන්ම එම තරුණයන් ආර්ථික සහ සාමාජිය වශයෙන් සංවර්ධනය කිරීමේ වැඩසටහන්වල අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව ජනාධිපතිතුමා එම මධ්‍යස්ථානයේ සුබසාධන කටයුතු සහ සෙසු පහසුකම් පිළිබඳව ද සොයා බැලූ අතර, පුනරුත්ථාපනය ලබන සියලූ තරුණයන් වෙත උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් සිය සුභාශීංසන පිළිගැන්වීමට ද සිදු කළේය.

    Latest News