නීතිවිරෝධි මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම බිඳිමට ඉන්දිය එකඟතාවක් (වීඩියෝ)

අප්‍රේ 08, 2019

    නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් සංක‍්‍රමණික ජාවාරම මැඩලීමට ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව නව සහයෝගිතා වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමට එකඟතාව පළ කෙරේ.

    ශ‍්‍රී ලංකාවට පැමිණ ඉන්දිය ආරක්ෂක ලේකම් සංජේ මිත‍්‍රා මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ජනපති නිල නිවසේ අද (08) පෙරවරුවේ පැවති හමුවේ දී මේ පිළිබඳ සාකච්ඡා කෙරිණ.

    කලාපීය ආරක්ෂාව වෙනුවෙන් නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම සහ මිනිස් ජාවාරම මැඩලීමේ දී ඉන්දු ශ‍්‍රී ලංකා සහයෝගිතාව තුළ පුළුල් අවබෝධයකින් සහ එකඟතාවයකින් කටයුතු කිරීම පිළිබඳ මෙහි දී අවධානය යොමුවි තිබේ. මෙ රට ආරක්ෂක හමුදාවන්ට ඉන්දීය රජය පිරිනමන පුහුණු අවස්ථා පිළිබඳ සිය ස්තූතිය පළ කළේය. එම පුහුණු අවස්ථා තවදුරටත් ඉහළ නංවා ගැනීමට සහය වන ලෙසට ජනාධිපති තුමා කළ ඉල්ලීමට ඉන්දීය ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු කෙරිණි.

    ආරක්ෂක කටයුතුවල දී දෙරට අතර සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනිම සඳහා අදහස් හුවමාරුකර ගැනීම පිළිබඳවත් සාකච්ඡා කර තිබේ. මෙහි දී ඇතිවූ එකඟතාවන් ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ දෙරටේ ආරක්ෂක ලේකම්වරු එක්ව සාකච්ඡා කිරීමට ද තීරණය කෙරිණි.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු, ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින්ග් සන්දු යන මහත්වරුන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on සදුදා, 08 අප්‍රේල් 2019 20:18

    Latest News