සුජීව සේනසිංහ ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර

පෙබ 13, 2025
    තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීති විරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.
    දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.
    ඒ අනුව අදාල පෙත්සමේ උත්තරකරුවන් ලෙස නම් කර සිටින වැඩ බලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා, එහි අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර තිබුණා.
    විරෝධතා තිබේ නම් ඒවා අද දින සිට සති හයක් තුළ ගොනු කිරීමට පියවර කරන ලෙස එම වගඋත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කළා.
    ඉන් අනතුරුව පෙත්සම් විභාගය සැප්තැම්බර් මස 10 වනදා පැවැත්වීමටද අධිකරණය නියෝග කළා.
    පෙත්සම්කාර සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීති විරෝධී ලෙස කරන ලද වාහනයක් සම්බන්ධයෙන් වැරදි කරුණු අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සේවා දායකයාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව සඳහන් කළා.
    නීති විරෝධී ලෙස වාහනයක් එකලස් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරුණද එම වාහනය 2022 වසරේ ලියාපදිංචි කර තිබූ බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් පසුව ගරාජ් අංකයක් යටතේ එම වාහනය භාවිත කළ බවට පැමිණිල්ල මගින් ඉදිරිපත් කර තිබෙන චෝදනා පදනම් විරහිත බව පෙන්වා දුන්නා.
    එම විමර්ශනයට පාදක වන පැමිණිල්ල විස්වසනීයත්වයෙන් තොර පදනම් විරහිත පැමිණිල්ලක් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.
     
    එහෙත් වලාන දූෂණ මර්දන ඒකකය මගින් මුලින්ම මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදු කළ අතර එහිදී නීති විරෝධී ක්‍රියා කිසිවක් අනාවරණය නොවූ බවට එම විමර්ශන ඒකකය විසින් අධිකරණයට වාර්තා කර තිබූ බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
     
    විශ්වාසනීයත්වයෙන් තොර පදනම් විරහිත පැමිණිල්ලක්නො ද විමර්ශන සිදුකළ හැකි බවත් මෙම වග උත්තරකරුගේ ක්‍රියා කලාපය තුළින් සිය සේවා දායකයාට දැඩි අගතියක් සිදුවී ඇති අතර ඒ තුළින් ඔහුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා  අධිකරණයෙන් ඉල්ලා සිටියා.
     
    ඉන් අනතුරුව වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්  වරුනිකා හෙට්ටිගේ මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකරුවන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර සෝදිසි වරෙන්තු ලබාගෙන මෙම විමර්ශන සිදු කළ බව පෙන්වා දුන්නා.
     
    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නා.
     

    Latest News