21වන සියවස - ඉන්දිය සාගරයේ ප්‍රධාන මහා නගරය කොළඹ .....අගමැති

අප්‍රේ 02, 2019

    නගර සභා, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මගින් සංවර්ධනයක් හෝ ජනතා සේවයක් සිදු නොවන බව අවබෝධ කරගත් විපක්‍ෂය, තම බලය‍ේ ඇති ආයතන ප්‍රති‍ක්‍ෂේප කරමින් මුදල් වෙන් කරන වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් රටේ බලය ලබාගත් නගර සභා හා ප්‍රාදේශීය සභා මගින් තම ප්‍රදේශයේ සංවර්ධනයක් සිදු කරනු ඇතැයි ජනතාව අපේක්‍ෂා කළ ද අද වන විට ඒ අපේක්‍ෂාවන් බිඳ වැටී කිසිඳු මහජන සේවාවක් ඉටු නොකරන ආයතන බවට එම ආයතන පත්ව ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

    හෝමාගම නාගරික උද්‍යානය විවෘත කිරීම, තාක්‍ෂණ නගර පිවිසුම් මාර්ගයට මුල්ගල තැබීම සහ මහරගම බහු මහල් රථාංගනය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණ. ඉන් අනතුරුව මහරගම නගර සභාව ඉදිරිපිට ජනහමුවක් පැවැත්විණ. 

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා "මේ වනවිට ආණ්ඩුව නාගරික සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 60,000-70,000 ක් පමණ වැය කර තිබෙනවා. 21 වන ශත වර්ෂයේ දී කොළඹ නගරය, ඉන්දියන් සාගරයේ ප්‍රධානතම මහා නගරය බවට පත් කිරීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

    රටේ පළාත් සභා, නගර සභා හා ප්‍රාදේශීය සභා සියල්ල මෙම අමාත්‍යාංශය සමග එකට එක්ව වැඩකටයුතු කළ යුතුයි. එලෙස වැඩ නොකරනවා නම් ඒ පළාත් පාලන ආයතනවලට එරෙහිව ජනතාව පියවර ගනිවී. පසුගිය මැතිවරණයේ දී අලූතෙන් තේරී පත්වූ නගර සභා හා ප්‍රාදේශීය සභා මගින් තම ප්‍රදේශවලට සේවයක් ඉටුවෙනු ඇතැයි ජනතාව තුළ බලාපොරොත්තුවක් තිබුණා. නමුත් ඒ බලාපොරොත්තු අද බිඳ වැටී තිබෙනවා. 

    මෙම ආයතන අද විපක්‍ෂයටත් එපා වී තිබෙනවා. ඒ නිසා එම ආයතන සඳහා මුදල් වෙන් කරන වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය පාවිච්චි කරමින් විපක්‍ෂය එම මුදල් කපා හැරියා. මෙලෙස විපක්‍ෂය තමන්ගේ ආයතන පළක් නැතැයි ප්‍රතික්‍ෂේප කරනවා නම් ඒ වෙනුවෙන් අපට කළ යුතු දෙයක් නැහැ." යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    Last modified on අඟහරුවාදා, 02 අප්‍රේල් 2019 19:58

    Latest News